Showing posts with label පුද්ගලිකයි රහසිගතයි. Show all posts
Showing posts with label පුද්ගලිකයි රහසිගතයි. Show all posts

Jun 18, 2016

බොළඳ කාලේ පාසැල් ආලේ....







ටික කාලෙකට උඩදි මට මගේම පරණ ඩයරියක් හම්බුනා... 2012 ජනවාරි ඉඳන් පිළිවෙලකට ලියාගෙන ඇවිත් තියෙන ඩයරිය මොකක්හෝ හේතුවකට අවුරුද්ද මැදදි ලියන එක නවත්තල.... ඕනෑවට එපාවට ඒකෙ පිටු පෙරලගෙන ගිය මට රතු පෑනකින් කුරුටු ගෑවුණු කවිපේලි දෙකක් අහම්බෙන් වගේ ඇස ගැටුන.. මේ කවිපේලි දෙක තමයි පල්ලෙහා තියෙන පලවෙනි කවියෙ පලවෙනි පේලියත් දෙවෙනි කවියෙ අන්තිම පේළියත්...

මේක මං ලිව්වේ මං ගිය පාසැල් බස් රථයේ අන්තිමට කලින් සීට් එකේ පල්ලෙහා... මාත් එක්ක ඒ බස් එකේ ගිය කෙනෙක් ගැනයි මේක... දැන් අපි මේ ඉස්කෝලෙන් ඇවිත් ගොඩක් කල් වෙනව.. ඒත් මේ බස්රිය ඉස්සර අපිට තිබුණු සුන්දර බලාපොරොත්තු සහ බොළඳ ආශාවන් තියෙන මල්ලිලා නංගිලා ඔවුන්ගෙ නැවතුම් පොළවල් වලට තවම ගෙනියනවා... කිසිදා අමතක නොවෙන පාසැල් ආදරය ගැනයි මේ..


           මිනිත්තිතු පහකට සිටියත් මගෙ ළඟ 
                                                ඇති එය දවසක් පුරවන්න 
   වාත්තු කල සුදු ලස්සන මූණක් 
                                               යාන්තමට මට දැකගන්න
    සාක්කු අස්සේ මුරුක්කු පුරවන් 
                                   යෙහෙළියො අතරින් මතුවෙන්න
         මාර්තු වැස්සට තෙමෙන්න නරකයි 
                                     කුමරියෙ හනිකට ගොඩවෙන්න

     රසයෙන් වැඩි මුත් අරුතක් නැති 
                                  කච කචෙන් මගේ කන් පුරවන්න
      කසයෙන් හද තලනා වැනි රිදුමක් 
                                 නෙත් යාවෙන කල ගෙන දෙන්න
දවසින් දවසට හිත යට පීදෙන 
                                           ආදර හැඟුමන් වැඩිවෙන්න
     බසයෙන් බැසයන විට පෑ  මදහස 
                                        හෙටදින නැවතත් මට දෙන්න  

~මාතරේ. 

Nov 4, 2015

හිමිනැති ප්‍රේමයයි සැමදා පවතින්නේ..!





***
                                                 ලපටි රන් තැඹිලි හිරු රැස් 
                                                                                       වැටෙන ගලා
                                                 දිනක උදෑසන මම නුඹ 
                                                                                       දුටිමි එදා 
                                                 සැනෙක උදර ගැබ ඇතුලෙන් 
                                                                                       හිරි වැටුනා 
                                                 ප්‍රේම කළා නොව මා නුඹ 
                                                                                       අගය කළා 


                                                 වගුරු බිමක් තුල ඔබ 
                                                                                      සියපතකි නැවුම් 
                                                 පඳුරු ගොඩක් මැද ඔබ මහ 
                                                                                      රුකකි උතුම් 
                                                                                                          දෙවෙනි හෙයින් 
                                                 නිතර දොඩන මුව හෙනගෙඩි 
                                                                                      අකුණු තරම් 


                                                කෝලම් දෑස හිමිකරගන්න 
                                                                                      ලොබ බැඳිමි
                                                නෙත්යුග ගැටෙන විට එය 
                                                                                      සඟවනු නොහැකී 
                                                ආලේ සුන්දරම කාලය 
                                                                                      මෙය සොඳුරී 
                                                පිළිතුර දත් පැනය ඇසුවෙමි 
                                                                                      මම ලතැවී 


                                                වෙනසක් ලදිමි නුඹගෙන් නුඹ 
                                                                                      නෑ දන්නේ 
                                               හිමිනැති ප්‍රේමයයි සැමදා 
                                                                                      පවතින්නේ 
                                               ඔබ හට මගේ සිතතුළ 
                                                                                      නිමැවුන මැදුරේ 
                                               වෙනකෙකු බලෙන් රඳවාගෙන 
                                                                                     මම රැවටේ   

***

~ මාතරේ.

Jul 15, 2012

නුඹට කෙල හලන උට හොරෙන් ඔබ මට ලයින් එක දානවදෝ...?


***
දසත සැරිසරන
උකුසු නෙත් වලට
හොරෙන් මා දෙස
බලනවාදෝ...?

බලන හැමවිටම
කොමල මුවඟින්
සිනාසෙන්නට
හදනවාදෝ...?

සිනාසෙන්නට
හදන සැමවිට
ඔහු දකීවියි
බය හිතේදෝ...?

නුඹට කෙල හලන
උට හොරෙන් නුඹ
මට ලයින් එක
දානවදෝ...?


ඔහුට වැඩියෙන්
මගේ ආලය
වටිනවා යැයි
හිතෙනවාදෝ...?

ඉඟිමරන ඔය
නෙතට කඳුලක්
කිසිදිනක මම
නොම ගෙනේදෝ...?

ආදරය යනු

කිම නොදත් මම 
කෙලෙස ඔබ හට 
එය පුදම්දෝ...?


ආලයට කිරි කෝඩු
නැති නුඹ
මටත් ඒ ගැන
කියා දේදෝ...?
***

~ මාතරේ

May 20, 2012

ඇය හමුවුණි; හද නැවතුනි...



ආදරණිය H වෙත,


මම  අහල තියෙන ගොඩක් ප්‍රේම කතාවල් පටන් අරගෙන තියෙන්නෙ දෙදෙනා අතර තියෙන ගැලපීම් හන්ද... ඒත් අපි..? අපි කොච්චර වෙනස්ද..? මම නිහඬයි, ලැජ්ජයි...  ඒ උනාට ඔයා එහෙම නෑ.. ඔයාට බයක්, සබකෝලයක් කියල දෙයක් නෑ... හරිම සද්දයි.. මගේම විරුද්ධ පදය...! ඒ උනාට මට සහතිකයි අපි කවදාහරි දවසක එකතු වෙනව, ඒ එකතුවෙන්නෙත් අපේ නොගැලපීම් හින්ද... එදාට අපිව වෙන් කරන එකනම් එච්චර ලේසි වෙන්නේ නෑ...!



    ...
පද නැත මතකෙට එන්නේ,
                  මුළු ඔළුවම අවුල් වී 

සඳ නැත අහසට නැග්ගේ, 
                      අද එහි රුව දෙවෙනි වී
 
තරු නැත තනිවී අහසේ ,
                       ඔබෙ රුව ඇත එහි ඇඳී
 
ඇය හමුවුණි; හද නැවතුනි;
                      විසේකාර රුවැත්තී...
  ...

Apr 27, 2012

වත්තෙ නීතිය සහ සිත්තියාගේ කඳුළු...




සිත්තියා සුර දෙවඟනේ...
දෑස නිල්, දිගු වරලියේ...
ලැයිමෙ ගෑණුන් පදේ හැදුවද,
මොකද අඬ අඬ කළුවරේ...?

රැඳෙන නිතරම උඹ වටේ...
වත්තෙ කොල්ලන් හැතිකරේ...
නැද්ද උන් ගැන උඹට ගානක්,
අගුල දාගං ලී දොරේ...

තට්ට තනියම උඹ පැලේ...
කොහෙද උඹෙ මිනිහා ගියේ...?
වත්තෙ ලොක්කන් මාරු කෙරුවද,
ඌව ඈතට කඳුකරේ...?

මීදුමෙන් පිරි ගොම්මනේ...
බංගලාවට උඹ ඇදේ...
පැදුරෙ නැති සැප මෙට්ටෙ දෙනවද,
සින්න දොරයගෙ කාමරේ...?


මිට අවුරුදු එකහමාරකට පමණ පෙර යහළුවෙකු සමඟ රාගල පිහිටි තේවත්තකට ගියෙමි. එහි සුපිරින්ටන්ඩන් වරයා මගේ එම මිතුරාගේ සහෝදරයාගේ මිතුරෙක් වේ. එහිදී ඌ කිව් මේ කතාව මගේ හද පසාරු කරන්නට සමත්විණි. ඒ වෙලාවේ ඔහුට මුවින් නොබැන්නත් සිත ඇතුලින් වෛරයක්‌
සමග මෙම ගැහැණිය පිලිබඳ අනුකම්පාවක් හට ගැනුනි.මෙහි සඳහන් කර ඇති සින්න දොරේ මා පෙර කිව් සුපිරින්ටන්ඩන් වරයා වෙයි. කවියේ සඳහන් සියල්ල ඇත්තටම සිදුවූ දේවල්ය, බොහෝ විට දැනුත් සිදුවෙමින් පවතිනු ඇත...

~ මාතරේ

Apr 25, 2012

ලැම්බට් කියූ කවි...




පෙනෙයි දුර සිට,
                    බලන බැල්මන්
                    කොමල රැඟුමන්
                    සිනහ රන්වන්

සිතෙයි මා හට,
                    ලඟට ඇවිදින්
                    අතින් අල්ලං 
                    ඉන්න දිගුකල්

නුබෙ සොඳුරු සිත,
                    වසඟ කරගත්
                    එහි අරක්ගත්
                    කෙනෙක් නැතිනම්

කුමරි දෙනවද,
                    මටොබෙ නිකැළැල්
                    දිලෙන මිණිවන්
                    අදර හසරැල්...?


***


ගොතා  කියනෙමි,
                    කනට පැණි වන්
                    හදට කපු වන්
                    මියුරු පදවැල්

ළඟ ඉඳින්නෙමි,
                    දිවි තියෙනකල්
                    දෑස ලෙස මං
                    රකිමි සැමකල්

සිතින් තනනෙමි,
                    නිම්න නිල්වන්
                    අපි ඇවිද යං
                    කතා වල මෙන්

එහෙත් මේ කවි,
                    ගඟට ඉනි මෙන්..!
                    මටොබ අක්කෙක් 
                    උනේ ඇයි බං...?


       

Apr 24, 2012

දුක කියන දේ ලේසියෙන් නැතිකරගන්න බේතක් සොයා ගැනේ..!







දුක... දුක කියන්නේ අකුරු දෙකේ සරල වචනයක් උනාට දුක විඳින්න උනාම ඒකෙ සරලත්වයක් පේන්න නෑ..! අපිට කොයි වෙලාවේ මොන වගේ ප්‍රශ්නයක් එයිද කියල කව්රුත් කියන්න දන්නේ නෑ!!! මේක ලියාගෙන යනකොට "දුක" කියනේ වචනේ වෙනුවට "ප්‍රශ්න" කියන වචනේ හොඳයි වගේ දැනෙනවා... ඉතින් අපි ඒ වචනේ යොදමු... ප්‍රශ්න ආපුවම හුඟක් දෙනෙක් තමන්ව දාල යනවයි කියන එක තමා පොදු මතය.. එහෙම වෙලාවට කව්රුත් මගේ ළඟ නෑ කියල හිතෙනවා... ඔව් සිරස FM වත් ළඟ නැතිවෙන වෙලාවල් තියෙනව....

ඉතින් ඔය වගේ ඕනෑම ආකාරයක ප්‍රශ්නයක්, සිත් තැවුලක් ආපු වෙලාවක ගන්න පුළුවන් බේතක් ගැන මම දැනගත්ත... අපේ ඉස්කෝලේ නේවසිකාගරේ මම ඇතුළුව කට්ටියකට ගොඩක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඒක කොච්චර ලොකුද කිව්වොත් අපේ දෙතුන් දෙනෙක්ට ඉස්කෝලෙන් අස්වෙන්නත් සිද්ද උනා... ඉතින් ඔය කියන කියන දවස්වල අපි හිටියේ ගොඩාක් ප්‍රශ්නවලට මැදි වෙලා.. හිතේ බයෙන් සහ දෙගිඩියාවෙන්.... හැබැයි අපේ බෝඩිම බලාගන්න සර් හොඳ මනුස්සයා... එයා ඉස්කෝලේ සර් කෙනෙක් උනාට හැම වෙලාවේම වගේ ගත්තේ ළමයින්ගේ පැත්ත... ඉතින් සර් අපිට බොහොම හොඳ දෙයක් කියල දුන්න මුළු ජිවිතේටම එන ප්‍රශ්න වලදී මුහුණ දෙන්න පුළුවන් විදියට....
 

සර් කාලයක් වැඩ කරල තියෙනව උගන්ඩාවේ.. ඉතින් ඔය රටේ රස්නෙයි, ආර්ථික දුෂ්කරතායි මැද්දේ ගොඩක් ප්‍රශ්න තිබ්බ කාලයක්ලු... ඒ දවස්වල ඔය ඉඩි අමීන් එහෙම පාලනේ කරන කාලෙනේ....මේ සර් එක්ක වැඩ කරන ජපන්නු තුන් දෙනෙක් ඉන්නවලු හැමවෙලාවෙම ෆුල් සොමියෙන්....උන්ටත් ප්‍රශ්න තිබිල තියෙනව... හැබැයි උන් කිසි ප්‍රශ්නයක් ඔලුවට ගන්නැතුව ආතල් එකෙ ඉන්නවලු... ඉතින් අපේ සර් උත් මුන් එක්ක ෆිට් උනාලු... ඉතිං කාලයක් ජපන්නු එක්ක ඉද්දි මේගොල්ලන්ගේ සතුටින් සිටීමේ රහස සර් දැනගත්තලු.... රහසක් කිව්වට ඒක මේ පුංචි පුරුද්දක් වගේ. මුන් තුන්දෙනා වැඩ ඉවර වෙලා නිමාඩු හම්බවෙන වෙලාවට ඇවිදින්න යනවලු කැලේ පැත්තේ... ඒ යන්නේ වතුර තියෙන තැන් හොයාගෙන.. ඉතිං වතුර තියෙන ඇලක් හරි වතුර වලක් හරි හොයාගත්තට පස්සෙ මුන් වතුරේ බැහැල ඉන්නවලු පැයක් විතර... ඉතිං ඔය පැය දෙක තුනේ උන්ගෙ ආගිය තොරතුරු කතා කර කර කාලේ කනවලු.. ඉතිං බලං ගියාම මේක තමයි මුන්ගේ සතුටින් සිටීමේ රහස.....                                                 

  වතුර

වතුර කියන්නේ මහ පුදුම දෙයක්.. මිනිස්සුන්ට වෙන මොනවා තිබුනත් වතුර කියන දේ නැතුව ජිවත් වෙන්න කොහෙත්ම බෑ... වතුර වලට වෙන ආදේශකයකුත් නෑ... ඒක හොඳටම තේරෙනවා ගොඩක් තිබහ වුනු වෙලාවක ගිහින් බීම එකක් බිල බලන්න වතුර තිබහ යනවද කියල... එකෙන් වෙන්නේ බඩ පිරෙන එක විතරයි.. එතකොට තව වතුර බොන්න හිතෙන්නේ නෑ.. මිසක් ඒකෙන් වතුර තිබහ යන්නේ නෑ...

වතුර ගැන කතා කළා ඇති.. ඉතිං ඔය ක්‍රමේ අපිටත් හරි ගියා.... අපි වතුර වලවල් හොය හොයා කැලෑ ගානේ ඇවිද්දේ නෑ.. අපි ගිහින් හොඳට නා ගත්ත බෝඩිමේ බාත්රූම් එකෙන්...  ඔව් පැයක් එකහමාරක් විතර එකදිගට නෑව.. කිසිම ලෙඩක් නං හැදුනෙ නෑ... 

ඉතිං මොකක්හරි ප්‍රශ්නයක් හරි සිත් තැවුලකට හරි මැදි උන වෙලාවක යන්න ලඟම තියෙන ලිඳට හරි බාත්රූම් එකට... ඇලක් හරි වැවක් හරිනම් ගොඩක් ශෝක්.. නාන්න ඇඟේ හැමතැනක්ම වතුරෙන් තෙත් වෙන විදිහට.... පැයක් දෙකක් හරි කමක් නෑ.. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්.. එක්කෝ ඔබේ සිත් තැවුල දුරු වෙලා සහනයක් ලැබෙයි නැත්තම් ප්‍රශ්නෙට පට්ට විසඳුමක් පහළ වෙයි..!

                                                           අත්දුටුවයි! සත්තයි!

Mar 28, 2012

ඇල් ටී ටී ඊ ඉතුරු කර ගිය දෑ බලන්නට ගියෙමි... (පින්තූර සහිතයි)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුත්තූර්, නන්දිකඩාල්, පරන්තන්, වෙල්ලමුල්ලිවයික්කාල්, සාම්පූර්.... අහල පුරුදු නම් ටිකක් නේද? 2009 මැද හරිය වෙනකොට ටීවී එකේ තිස්සෙම ඇහුන නම් ටිකක්... ඉතින් යුද ජයග්‍රහණයේ උණුසුම ටිකෙන් ටික මැකිලා යද්දී පවුලේ උදවියත් එක්ක ගියා ඔය පැත්ත බලල එන්න...

අව්ව හරිම අවුල්..! ඊට හපන් දූවිල්ල... ඉවසන්න බෑ.. හරියට නිකං පහුගිය කාලේ P අකුරට F අකුර මාරු කරගත්තු උන් FB chat කරනව වගේ..  

***
X: kohomada?

Y: aaah.. fatta fatta

X: eka neme bn. mata fatta kallak set unane langadi

Y: fala fala do yanna...

X: boru neme yako... foddak hitapan mama photo ekak fennannam....

...

Y: ado.... fattane.. mata folawa falagena yanna hithenawa oi! :O

***

හැබැයි කව්රු හරි යනවනම් අප්‍රේල් මැද හරිය වෙන්න ඉස්සෙල්ල යන්න.. මොකද අප්‍රේල් මැද වෙද්දී මේ ඔක්කොම නටබුන් හා සුන්බුන් බුල්ඩෝසර් කරනවලු.. එතකොට මුකුත් බලන්න හම්බවෙන්නේ නෑ...! මෙන්න යටින් තියෙනවා පින්තූර ටික ට්‍රිප් එකේ...



                                                 මුහුදු කොටි නායක සුසෙයි ගේ නිවස
                               

සුසෙයිගේ පුළුන් පුරවපු කොටියා

සුසෙයිගේ කාමරයේ ඇති අල්මාරිය.. මෙහි ඇතුලින් රහස් උමගකට පිවිසිය හැකිය

මෙය බිත්තියකි
 සරුවට වැවෙන කැරට්.. 

එම ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ මෙවැනි සිදුරු ඇත... මේවා වෙඩි වැදීමෙන් සිදු වූ ඒවාය



Feb 14, 2012

එක දවසින් කිලෝ 4ක් බස්සගන්න... බොක්සිං ක්‍රීඩකයින්ගේ රහස හෙළිවේ....!




ලඟදි අර බොක්සිං ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් එක්ක මටත් මගෙ අවුරුද්දක විතර ඈත අතීතය මතක් උනා.. ඒ මොකද බුද්ධි ඉන්දීර සොහොයුරා වගේම මමත් බොක්සිං ගහන්න ගියෙ ගෙදරට නොකියා..

කාල වකවානුව 2011 මාර්තු සිට අගෝස්තු පමණ දක්වා මට මතක විදිහට.. ඒ දවස්වල සා/පෙ කරල 12 වසරට පය ගහපු කාලේ වෙච්චි.. ඔය කාලෙ නෙ ගොඩක් කට්ටියට ජීවිතේ කවදාවත් අමතක නොවෙන අත්දැකීම් ලැබෙන කාලේ.. ඔන්න ඉතින් මාතරෙත් සාපෙ රිසල්ට් එහෙම අහල පොඩ්ඩක් විනෝදෙන් කාලේ ගතකරන කොට බෝඩිමේ සෙට් එකකට ඔය බොක්සිං ගහන්න ආසාවක් ඇතිවුනා.. සෙට් එකක් කිව්වට හත්දෙනෙක් විතර.. ඉතින් බෝඩිමේ බොක්සිං ගහල පොඩ්ඩක් පළපුරුදු එකෙකුත් එක්ක තමයි ප්‍රැක්ටිස් යන්න හිතාගත්තේ.. හිතාගත්ත විදිහටම දවසක උදේ වරුවක් අල්ලල සෙට් එක පිටින්ම ගියා ප්‍රැක්ටිස්...

බොක්සිං කිව්වම ඉතින් ගොඩක් කට්ටියට මුලින්ම මතක් වෙන්නේ නහය කඩාගෙන ලේ ගලන එකෙක් එහෙමත් නැත්තං අර රෙස්ලින් මැච් වල වගේ බිම වැටුනට පස්සෙ පොලවට ගහන රෙෆ්රියෙක්... ඇත්තටම කිව්වොත් මමත් ඉස්සෙලම හිතාගෙන ගියෙ ඔය විදිහට හැබැයි පොඩ්ඩක් කල් යද්දී තේරුනා මේක පොඩ්ඩක් රහයි කියල.... මම කලින් කරපු බාස්කට්බෝල්, කැඩෙටින් වලට වැඩිය චුට්ටක් හොඳයි... ඒ මොකෝ ඒවායේ ප්‍රැක්ටිස් හැමදාම.. ගියෙ නැත්තං කණ්ඩායමේ නෑ... ඒ අතින් බොක්සිං තනිපුද්ගල ක්‍රීඩාවක්.. ප්‍රැක්ටිස් ගියොත් තමන්ට නැත්තං ඒත් තමන්ට...

ප්‍රැක්ටිස් එක්ක කාලය ගෙවිල යද්දී මට පාසල් බොක්සිං සංගමය සංවිධානය කරන L. V. ජයවීර කුසලානයට සහභාගී වීමට වරම් ලැබුවා... L. V. ජයවීර කියන්නෙ නවක බොක්සිං ක්‍රීඩකයින්ගේ තරඟය.. L.V ජයවීර එක පාරක් ගහපු කෙනෙක්ට දෙවෙනි පාර ගහන්න බෑ.. මේ වෙනකොට ඉතින් මාතරෙත් ඉස්කෝලේ බොක්සිං සර්ගෙ හොඳ ගෝලයෙක් වෙලා ඉන්න කාලේ නොවැ.. L. V ජයවීර යනවමයි කියල හිතාගෙන උන්නේ...

මේ ඔක්කොටම ඉස්සෙල්ල බොක්සිං ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්කො...

බොක්සිං වලට අවුරුදු 5000ක විතර ඈත අතීතයක් තියෙනව.. පුදුම උනාද..? පුදුම වෙන්න දෙයක් නෑ. මිනිසා කියන එක්කෙනා බිහිවෙච්ච දා ඉඳල ඔය පොඩි පොඩි හේතු වලට බෝකිසින් ගහගත්තනේ... ඉතින් ඔය බොක්සිං නීති රීති ටිකකුත් එක්ක ක්‍රීඩාවක් විදිහට ආරම්භ වෙලා තියෙන්නේ අවුරුදු 5000කට පෙර..

බොක්සිං ක්‍රීඩාවේ මුලික අරමුණ නිශ්චිත කාලයක්‌ ඇතුලත (වට 3ක්) ප්‍රතිවාදියාගේ ලකුණු ලැබෙන ස්ථාන වලට පහර දීම.. එහෙමයි කියල හැමතැනටම ගහන්න බෑ.. ! ගහන්න පුළුවන් මූන, බඩ, පපු ප්‍රදේශයට පමණයි... එහෙමත් නැත්තන් ප්‍රතිවාදියාට තරඟ කරන්න අපහසුයි කියල විනිශ්‍යකරුට හෝ ප්‍රතිවාදියාගේ පුහුණුකරුට තේරෙනවනම් ඒත් දිනුම අපිට...

බොක්සිං තරඟයකදී එයට තරඟයක කියල කියන්නෙ නෑ.. බොක්සිං ව්‍යවහාරයට අනුව ඒකට කියන්නෙ බවුට් එකක් කියල.. ඒ වගේම බොක්සිං තරඟයක තරඟකරුවන්ව වෙන් කරන්නේ රෙඩ් කෝනර්, බ්ලූ කෝනර් කියල.. රෙඩ් කෝනර් ඉන්න කෙනා රෙඩ්... බ්ලූ කෝනර් ඉන්න කෙනා බ්ලූ.

තරඟයේ නීති රීති වගේම ආරක්ෂාවත් වැදගත්කොට සලකනව... බොක්සිං කිට් එක ඔලුවේ සිට මෙහෙමයි... මුලින්ම හෙඩ් ගාඩ්... මේක දාන්නේ ඔලුවට.. :P හිසේ පිටුපසත් නළලත් ආරක්ෂා වෙනව.. මේක අපේ බවුට් ඒකට බවුට් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා... ඊට පස්සෙ ස්කිනියයි, ෂෝටයි.. මේවානම් අපි අරං යන්න ඕනේ.. ඊට පස්සෙ අත් දෙකට බැන්ඩේජ්, මේවත් අපේ ගානේ.. ඔන්න ඊළඟට ඒ ගොල්ලෝ ගානේ ග්ලව්ස්, මේවත් හෙඩ් ගාඩ් එක්ක තමයි ලැබෙන්නේ.. ඊළඟට සපත්තුයි, මේසුයි.. ඒවා කොහෙන් හොයාගත්තත් අදාල නෑ....    

හරි ඔන්න ආයේ කතාවට.... ඉස්කෝලෙන් යවන L. V ජයවීර කණ්ඩායම තෝරන්න පටන් ගත්තේ තරඟයට දවස් දෙකක් තියල... සර් එදා එකපාරටම මට කියපි මගෙ බර පන්තිය ගහන එක්කෙනෙක් ඉන්නවාය... ඒ හින්ද බර කිලෝ හතරක් අඩු කරගන්න ඕනේ කියල...!

වාසනාවට වගේ එක දවසෙන් කිලෝ තුන හතරක් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් අපේ බොක්සිං ක්‍රීඩකයෝ ගාව තිබුන....

1. පළවෙනියටම කිලෝමීටර 3ක් පමණ නොනවත්වා දිවීම...
2. දිවීමට පෙර හෝ පසු වතුර නොබීම
3. දිවුවාට පසු පොලිතින් උරයක් තුලට වී අව්වේ විනාඩි තිහක් පමණ සිටීම
4. ආයේ දිවීම
5. බර බැලීම
6. අවශ්‍ය බර පැමිණ තිබේනම් නැවත්වීම... නැතිනම් නැවත පලවෙනි පියවරට යෑම

7. රෑට නොකෑම.. (බැරිමනම් ඔය පරාටයක් වගේ වෙළුන යමක් කෑම)
8. වැරදිලාවත් වතුර නොබීම
9. හැකි තරම් අපද්‍රව්‍ය පිටකිරීම

ඔන්න ඔහොමයි එක දවසෙන් කිලෝ හතරක් බස්සගත්තේ ...


කතාවේ ඉතුරු ටික එච්චර රස නෑ... කෙටියෙන් කිව්වොත් බවුට් දෙකයි ගැහුවේ, එකක් දින්න, එකක් කෑවා... දෙකේම ගැහුවේ රෙඩ් කෝනර්.... ඒ හින්ද පැත්තේ වැරද්දක් කියන්නත් බෑ... මටම තේරුණා මට බොක්සිං හරියන්නෑ කියල... කාපු එක දින්නනම් මට ලෝකඩ පදක්කම... ඒත් මගෙ වෙලාවට වෙන්නැති ඒක පැරදිලා තරගෙන් ඉවත් වෙන්න සිද්ද වුනේ.. හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනව නේ... නැතත් ඉතින් මිදි කොහොමත් තිත්තයි නොවැ! 

***


වීරයෙකු ලෙසින් අප හැර ගිය ඔබ හෙළදිව බොක්සිං ක්‍රීඩාවේ අමරණිය චරිතයක් වනු ඇත... 

Nov 7, 2011

මාතරේ රන්ටැඹේ කැම්ප් ගිය වගයි!



ඒ 2009 අවුරුද්දය. වසරේ මැද හරියය. ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණියට අයිති පාසලක්‌ වශයෙන් සියලුම තෝරාගන්නා අදියරවල් පසුකර අපි ජූලි මාසයේ යෙදෙන වාර්ෂික බලඇණි ඇගයීම කඳවුර හෙවත් බැටෑලියන් කඳවුරට තේරී තිබුනෙමු. ඒ පුහුණුවීම් කෙරූ කාලයද ඉතා සුන්දරය. එහෙත් මම ඔබව කෙලින්ම  ගෙනියන්නේ රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට කඳවුරට වෙතටය.

කඳවුර  වෙත අප ගෙනයාමට ශිෂ්‍ය භට මුලස්ථානය මගින් උදේ හතට පමණ විශේෂ බස් රථයක අප පාසලට එවා තිබිණි. මාගේ මතකයේ හැටියට කඳවුරට ගෙනයාමට අපිට ගෙනෙන්නට කි දේ වලින් කීපයක් මෙසේය,
  1. පාසැල් නිල ඇඳුම් 2
  2. කැන්වස් සපත්තු කුට්ටමයි
  3. ටුත් පේස්ට් ටුත් බ්‍රෂ්
  4. සුදු ඇඳ රෙදි හා නිල් තුවාය (ඒ පාට වලින්ම ඕනේ කිව්ව)
  5. හැට්ට කටු (මොකට ගෙනිච්චද මන්ද? එක දවසකවත් ඕනේ උන් නෑ)
  6. බ්ලෙසර් එකයි ටයි එකයි
  7. එයාර් ෆ්‍රෙෂ්නර් [සතියක් ගඳ නොගැසීම සඳහා (පර්ෆියුම් ගේන්න එපා කිව්ව)]
  8. සෙලෝටේප් (ඒකත් මෙලෝ වැඩකට නෑ)
  9. ජොක්කු
  10. පටිජෝකා (ඉංග්‍රීසියෙන් සපොර්ටර්)
  11. බිස්කට් සහ බිම බෝතල්? (අපි ඒ කාලයේ ප්ලැටුන් එකේ සිටි පොඩිම උන් වෙච්චි)
කලින් සඳහන් කර තිබු බඩු ගෙනයාම සඳහා ට්‍රන්ක පෙට්ටි අපි සතියකට පමණ පෙර පාට කර තිබ්බෙමු.

බස් රාජයා වැඩම කල බව දැනගත් පසු අපි වීරයන් මෙන් සතියක දිගු නිවාඩුවක් සඳහා රන්ටැඹේ සඳහා පිටත්වී ගියෙමු. ගමන ඉතා දීර්ඝ එකක් විය. වරක් තේ බිම සඳහා බසය නවත්තන විට වෙලාව ගිනිමද්දහනට කිට්ටු බව දැඩි හිරු රශ්මියෙන් පසක් විය. එහෙත් තව පැය දෙකක්වත් යායුතු බව මොකෙක්දෝ මුසලයෙක් කියනු මට ඇසින.

අපි රන්ටැඹේ වෙත ලඟා වද්දී පස්වරු දෙක පමණ වී තිබිණි. රන්ටැඹේ පිවිසුම් දොරටුව ලඟට ලං වත්ම අපේ එකෙක්ට වමනය පිටවිණි. කෙසේ හෝ රන්ටැඹේ ජලාශය මැදින් වූ පාර දිගේ බස් රථය ඉදිරියට ඇදෙන විට අපිට අමුතුම හැඟීමක් දැනෙන්නට විය.

බස් රථය අපිව කඳවුර ඇතුලේ බස්සවා ට්‍රන්ක පෙට්ටි බිමට බාගත් පසු නික්ම ගියේය. දැන් සිටින්නේ අප විසිපස් දෙනා සහ ඛණ්ඩ භාර නිලධාරියා පමණි. ඉන්පසු එළඹියේ ට්‍රන්ක පෙට්ටි පරික්ෂා කර බලන වේලාවයි. සියලුම ළමුන්ට තම ට්‍රන්ක පෙට්ටිය විවෘත කර එය ඉදිරියේ සිට ගැනීමට අණ ලැබිණි. මොහොතකින් පරික්ෂා කර බලන නිලධාරින් විසින් අප පිළිවෙලට අසුරාගෙන ආ බඩු මුට්ටු සියල්ල කණපිට හරවමින් ඇවිස්සුවේ අප ඒවා තුල බෝම්බ හෝ මත්කුඩු සඟවාගෙන සිටින්නාක් මෙනි.

ඉන්පසු අපිට භට නිවාසයක් ලැබිණි. එදා හවසම ටී පාටියක් කියා අපිව මෙස් හෝල්(භෝජනාගාරය) එකට යැවූ පෝරියල් එක තාම මතක ඇත.... ඇත්තටම ටී පාටි කියන්නේ අප ඛණ්ඩයට තේ බිම සඳහා සිගු පෝලිමක හිඳ බාල්දියකට තේ රැගෙන ඒමය.... එයට මොකා ඒ නම තැබුවා දැයි නොදනිමි!

ඊළඟ දිනයේ තිබුනේ සරඹ සඳහා පුහුණු වීම්ය. ඒවත් ඉතා මනරම්ය... තුවක්කු ගෙන සීරුවෙන් සිටීමට නොහැකි වූ සමහරු සිහි නැතිවී ඇද වැටුනෝය.. අපගේ පුහුණු වීම් භාරව සිටි ප්‍රධානියාගේ හඬ දැනුදු මතක ඇත...

"මම තමයි රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකායේ XO!!! ඒ කිව්වේ අණ දෙන නිළධාරී... තේරුනාද?.... ඔව් නං ඔව් කියනවා නැත්තන් නෑ කියනවා... ඔය ඔලුව වැනිලි බෑ මෙහෙ.. හා.... හොඳයි.. මාත් එක්ක සෙල්ලම් බෑ කොල්ලනේ... මම මේ ග්‍රවුන්ඩ් එකේ ඔය වගේ බලඇණි සීයක් විතර කොමාන්ඩ් කරලා තියෙනව, උඹල මට මහ ලොකු දෙයක් නෙමේ... මම හොඳ එවුන්ට හොඳටම හොඳයි, හැබැයි නරක එවුන්ට අන්තෙටම නරකයි... තේරුනාද? තේරුනාද?.... හා හරි. එහෙනං අපි පටන් ගමු..."

හැබැයි වැඩි වෙලාවක් යන්න මත්තෙන් එක එකා වරද්දන්නටද පිස්සු නටන්නටද විය...

"ඕ.....යි! මොකද ඔය තුවක්කුව අරන් යන හැටි නිකන් අලියගේ පස් වෙනි කකුල වගේ.... උස්සන් යනවකෝ ඕක පිරිමි වගේ... මොකද අමාරුද දෙකට නැමිලා ඉන්නේ? දෙන්නද ඕකට හොඳ බේතක් ආයේ ජීවිතේටම දෙකට නොනැමෙන්න?..... මේක හරියන්නෑ වගේ... යනව ඔක්කොමල යටට... ඩිප් පොසිෂන්!... හරි මගෙ කොමාන්ඩ් එකට ඩිප්ස් ගහන්න ඕනේ තේරුනාද?.... හරි එකා....යි! හා... ඔහොම යට ඉන්නව මම නැගිටින්න කිව්වේ නෑ.. හරි අ...ප්, දෙකා....යි! යටට යනවල. ඔහොම ඉන්නව ඔහොම ඉන්නව... රායිට් අ...ප් ආයේ යනව තුනා....යි! මොකද මේ වදන රුදාවද? හ්ම්ම්.. හ්ම්ම්.. ගාන්නේ බඩදරු අම්මල වගේ? යනව යනව යටට යනව........! මේක හරියන්නෑ ගන්නව ඔක්කොමල තුවක්කු උස්සගනවල... ඔහොම උස්සගෙන දුවනවල රවුම් පහක් ග්‍රවුන්ඩ් එක වටේ!"

වදන රුදාව ඇති බඩදරු අම්මලා කිහිප දෙනෙක් නිසා අපටද ග්‍රවුන්ඩ් එක වටා දිවීමට සහභාගී වන්නට විය.

එහෙත් එහි ගෙවුණු ජීවිතය වචනයෙන් විස්තර කිරීමට අපහසුය. එහිදී අප උගත් දේ බොහෝය. එය වඩාත් විශේෂ වන්නේ අවට ලෝකය ගැන කිසිම දැනුමක් එහි ගත කෙරු කාලය තුල අපට නොලැබීමයි... කාලීන තොරතුරු කිසි දෙයක් එහිදී වැදගත් වුයේ නැත... කෙටියෙන්ම කියතොත් මයිකල් ජැක්සන් මැරුණා යයි අප දැනගත්තේ අප එයින් ආ පසුවය (කඳවුරේ ගතකල තෙවැනි රැය වනවිට ඔහු මියගොස් තිබිණි)...

කෙසේ නමුත් මාගේ ජිවිතයේ ගත කෙරූ දවස් වලින් මේ කඳවුරේ ගත කල දවස් හත කිසිදා අමතක නොවන සුන්දරම දවස් කිහිපයක් වන්නේය...!

Oct 30, 2011

කොණ්ඩය කැපුවෙමි



උපන් කැත
මකන්නට
වැවූ දිග
කොණ්ඩය
දැන් නැත! 
Related Posts Plugin for WordPress, Blogger...