Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Feb 14, 2012

එක දවසින් කිලෝ 4ක් බස්සගන්න... බොක්සිං ක්‍රීඩකයින්ගේ රහස හෙළිවේ....!




ලඟදි අර බොක්සිං ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් එක්ක මටත් මගෙ අවුරුද්දක විතර ඈත අතීතය මතක් උනා.. ඒ මොකද බුද්ධි ඉන්දීර සොහොයුරා වගේම මමත් බොක්සිං ගහන්න ගියෙ ගෙදරට නොකියා..

කාල වකවානුව 2011 මාර්තු සිට අගෝස්තු පමණ දක්වා මට මතක විදිහට.. ඒ දවස්වල සා/පෙ කරල 12 වසරට පය ගහපු කාලේ වෙච්චි.. ඔය කාලෙ නෙ ගොඩක් කට්ටියට ජීවිතේ කවදාවත් අමතක නොවෙන අත්දැකීම් ලැබෙන කාලේ.. ඔන්න ඉතින් මාතරෙත් සාපෙ රිසල්ට් එහෙම අහල පොඩ්ඩක් විනෝදෙන් කාලේ ගතකරන කොට බෝඩිමේ සෙට් එකකට ඔය බොක්සිං ගහන්න ආසාවක් ඇතිවුනා.. සෙට් එකක් කිව්වට හත්දෙනෙක් විතර.. ඉතින් බෝඩිමේ බොක්සිං ගහල පොඩ්ඩක් පළපුරුදු එකෙකුත් එක්ක තමයි ප්‍රැක්ටිස් යන්න හිතාගත්තේ.. හිතාගත්ත විදිහටම දවසක උදේ වරුවක් අල්ලල සෙට් එක පිටින්ම ගියා ප්‍රැක්ටිස්...

බොක්සිං කිව්වම ඉතින් ගොඩක් කට්ටියට මුලින්ම මතක් වෙන්නේ නහය කඩාගෙන ලේ ගලන එකෙක් එහෙමත් නැත්තං අර රෙස්ලින් මැච් වල වගේ බිම වැටුනට පස්සෙ පොලවට ගහන රෙෆ්රියෙක්... ඇත්තටම කිව්වොත් මමත් ඉස්සෙලම හිතාගෙන ගියෙ ඔය විදිහට හැබැයි පොඩ්ඩක් කල් යද්දී තේරුනා මේක පොඩ්ඩක් රහයි කියල.... මම කලින් කරපු බාස්කට්බෝල්, කැඩෙටින් වලට වැඩිය චුට්ටක් හොඳයි... ඒ මොකෝ ඒවායේ ප්‍රැක්ටිස් හැමදාම.. ගියෙ නැත්තං කණ්ඩායමේ නෑ... ඒ අතින් බොක්සිං තනිපුද්ගල ක්‍රීඩාවක්.. ප්‍රැක්ටිස් ගියොත් තමන්ට නැත්තං ඒත් තමන්ට...

ප්‍රැක්ටිස් එක්ක කාලය ගෙවිල යද්දී මට පාසල් බොක්සිං සංගමය සංවිධානය කරන L. V. ජයවීර කුසලානයට සහභාගී වීමට වරම් ලැබුවා... L. V. ජයවීර කියන්නෙ නවක බොක්සිං ක්‍රීඩකයින්ගේ තරඟය.. L.V ජයවීර එක පාරක් ගහපු කෙනෙක්ට දෙවෙනි පාර ගහන්න බෑ.. මේ වෙනකොට ඉතින් මාතරෙත් ඉස්කෝලේ බොක්සිං සර්ගෙ හොඳ ගෝලයෙක් වෙලා ඉන්න කාලේ නොවැ.. L. V ජයවීර යනවමයි කියල හිතාගෙන උන්නේ...

මේ ඔක්කොටම ඉස්සෙල්ල බොක්සිං ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්කො...

බොක්සිං වලට අවුරුදු 5000ක විතර ඈත අතීතයක් තියෙනව.. පුදුම උනාද..? පුදුම වෙන්න දෙයක් නෑ. මිනිසා කියන එක්කෙනා බිහිවෙච්ච දා ඉඳල ඔය පොඩි පොඩි හේතු වලට බෝකිසින් ගහගත්තනේ... ඉතින් ඔය බොක්සිං නීති රීති ටිකකුත් එක්ක ක්‍රීඩාවක් විදිහට ආරම්භ වෙලා තියෙන්නේ අවුරුදු 5000කට පෙර..

බොක්සිං ක්‍රීඩාවේ මුලික අරමුණ නිශ්චිත කාලයක්‌ ඇතුලත (වට 3ක්) ප්‍රතිවාදියාගේ ලකුණු ලැබෙන ස්ථාන වලට පහර දීම.. එහෙමයි කියල හැමතැනටම ගහන්න බෑ.. ! ගහන්න පුළුවන් මූන, බඩ, පපු ප්‍රදේශයට පමණයි... එහෙමත් නැත්තන් ප්‍රතිවාදියාට තරඟ කරන්න අපහසුයි කියල විනිශ්‍යකරුට හෝ ප්‍රතිවාදියාගේ පුහුණුකරුට තේරෙනවනම් ඒත් දිනුම අපිට...

බොක්සිං තරඟයකදී එයට තරඟයක කියල කියන්නෙ නෑ.. බොක්සිං ව්‍යවහාරයට අනුව ඒකට කියන්නෙ බවුට් එකක් කියල.. ඒ වගේම බොක්සිං තරඟයක තරඟකරුවන්ව වෙන් කරන්නේ රෙඩ් කෝනර්, බ්ලූ කෝනර් කියල.. රෙඩ් කෝනර් ඉන්න කෙනා රෙඩ්... බ්ලූ කෝනර් ඉන්න කෙනා බ්ලූ.

තරඟයේ නීති රීති වගේම ආරක්ෂාවත් වැදගත්කොට සලකනව... බොක්සිං කිට් එක ඔලුවේ සිට මෙහෙමයි... මුලින්ම හෙඩ් ගාඩ්... මේක දාන්නේ ඔලුවට.. :P හිසේ පිටුපසත් නළලත් ආරක්ෂා වෙනව.. මේක අපේ බවුට් ඒකට බවුට් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා... ඊට පස්සෙ ස්කිනියයි, ෂෝටයි.. මේවානම් අපි අරං යන්න ඕනේ.. ඊට පස්සෙ අත් දෙකට බැන්ඩේජ්, මේවත් අපේ ගානේ.. ඔන්න ඊළඟට ඒ ගොල්ලෝ ගානේ ග්ලව්ස්, මේවත් හෙඩ් ගාඩ් එක්ක තමයි ලැබෙන්නේ.. ඊළඟට සපත්තුයි, මේසුයි.. ඒවා කොහෙන් හොයාගත්තත් අදාල නෑ....    

හරි ඔන්න ආයේ කතාවට.... ඉස්කෝලෙන් යවන L. V ජයවීර කණ්ඩායම තෝරන්න පටන් ගත්තේ තරඟයට දවස් දෙකක් තියල... සර් එදා එකපාරටම මට කියපි මගෙ බර පන්තිය ගහන එක්කෙනෙක් ඉන්නවාය... ඒ හින්ද බර කිලෝ හතරක් අඩු කරගන්න ඕනේ කියල...!

වාසනාවට වගේ එක දවසෙන් කිලෝ තුන හතරක් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් අපේ බොක්සිං ක්‍රීඩකයෝ ගාව තිබුන....

1. පළවෙනියටම කිලෝමීටර 3ක් පමණ නොනවත්වා දිවීම...
2. දිවීමට පෙර හෝ පසු වතුර නොබීම
3. දිවුවාට පසු පොලිතින් උරයක් තුලට වී අව්වේ විනාඩි තිහක් පමණ සිටීම
4. ආයේ දිවීම
5. බර බැලීම
6. අවශ්‍ය බර පැමිණ තිබේනම් නැවත්වීම... නැතිනම් නැවත පලවෙනි පියවරට යෑම

7. රෑට නොකෑම.. (බැරිමනම් ඔය පරාටයක් වගේ වෙළුන යමක් කෑම)
8. වැරදිලාවත් වතුර නොබීම
9. හැකි තරම් අපද්‍රව්‍ය පිටකිරීම

ඔන්න ඔහොමයි එක දවසෙන් කිලෝ හතරක් බස්සගත්තේ ...


කතාවේ ඉතුරු ටික එච්චර රස නෑ... කෙටියෙන් කිව්වොත් බවුට් දෙකයි ගැහුවේ, එකක් දින්න, එකක් කෑවා... දෙකේම ගැහුවේ රෙඩ් කෝනර්.... ඒ හින්ද පැත්තේ වැරද්දක් කියන්නත් බෑ... මටම තේරුණා මට බොක්සිං හරියන්නෑ කියල... කාපු එක දින්නනම් මට ලෝකඩ පදක්කම... ඒත් මගෙ වෙලාවට වෙන්නැති ඒක පැරදිලා තරගෙන් ඉවත් වෙන්න සිද්ද වුනේ.. හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනව නේ... නැතත් ඉතින් මිදි කොහොමත් තිත්තයි නොවැ! 

***


වීරයෙකු ලෙසින් අප හැර ගිය ඔබ හෙළදිව බොක්සිං ක්‍රීඩාවේ අමරණිය චරිතයක් වනු ඇත... 

Dec 29, 2011

මංගල්‍ය දා.....!




හ්ම්ම්.... අවුරුදු හයකුත් ගතවුනා නේද? මමනම් හිතුවෙ නෑ අපි මෙච්චර දුර ගමනක් එයි කියල! ම්... බය උනාද? ඔව් මම ඒක මේ වෙනකන් ඔයාට කියල තිබුනේ නෑ.. හැබැයි අද මම කියනවා... ඔක්කෝම කියනවා..

ඔයාට මතක ඇති අපි දෙන්නව මුණගැසුනේ පත්තරේ දාපු මංගල යෝජනාවකින්... ඒ ඔයගොල්ලන්ගේ ගෙදරින් දාපු යෝජනාව බලල අපේ කට්ටිය පිළිතුරු යැව්ව හැටිත් මතක ඇතිනේ.. ඊට පස්සෙ අපි දවසක් කතා කරගෙන ඕගොල්ලන්ගේ ගෙදර ආපු දවස... අන්න එදා තමයි අපි දෙන්න මූනට මූන හම්බඋනේ... ඔයා හරිම ලස්සනට හිටිය එදා...

මම ඒ වෙනකොට ජීවිතේටම දැකල තිබුන දෙවෙනියට ලස්සන එක්කෙනා ඔයා...! මම ඇත්ත කතාකරන්නේ...! මට ඒ වෙනකොට මගේ හිත මටත් හොරෙන් හොරකං කරගෙන හිටපු කෙනෙක් හිටිය... ඔව්... ඒ එක්කෙනාව මට කොහොමටවත් අමතක කරන්න බැරි තත්වෙකයි මම හිටියෙ... එදා ඔයාව හම්බවෙන්න ආපු දවසෙ හවසත් මට එයාව හම්බඋනා.. මම ගිය ගමන කලින්ම මම එයාට කියල තිබුනේ... එයා.... දුක් උනා... ගොඩාක් දුක් උනා...


මමයි එයයි අතර සම්බන්ධය එසේ මෙසේ සම්බන්ධයක් නෙමේ.. ඒකට අවුරුදු හතරක ඉතිහාසයක් තිබුන... ඒ අවුරුදු හතරම අපි ගතකලේ ගෙවල් වලට නොකියා... කොහොම එහෙම අවුරුදු හතරක් ගෙවුනද කියල දැන්නම් හිතාගන්නවත් බෑ... ඒක පුදුමාකාර ආදරයක්.. ඒ ආදරෙත් එක්ක වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න උනොත්...? මම ඒ දවස්වල වහ බෝතලේට අත තියල යාලුවන්ගේ කීමට හිත හදාගත්ත වාර අනන්තයි...! අපි දැනගෙන හිටිය අපි කොච්චර ඉගෙන ගෙන තිබුනත් අපේ ගෙවල් වලින් අපේ සම්බන්ධයට කැමති නොවෙන බව... අපි කොච්චර ගෙවල් වලට කරදර කලාද..? ඒත් ඒකෙන් උනේ... මගේ විවාහය ලං වෙන එකත් එයා රට යන එකත් විතරයි..!

ඊට පස්සෙ ආවේ අපි දෙන්නගෙ ගිවිස ගැනීම.. එදා ඔයා මලක් වගේ ලස්සනට හිටිය..! හරිම ලස්සනයි.. හැබැයි අරයා වගේ නෙමේ කියල මගෙ හිත හැමවෙලාවෙම මට කිව්වා... එදා.. බොහොම ලොකු දෑවැද්දක් හම්බුනා කියල අපේ අප්පච්චි කියනව මං අහගෙන... ඒත් මම මගෙ හිත හොරකං කරගෙන හිටපු සුරන්ගනාවගෙන් දවසින් දවස ඈත් වෙනව කියල දැනෙද්දී හිතට ආපු දුක මට කවදාවත් වචනයෙන් විස්තර කරන්න හම්බවෙන්නෙ නෑ....

සති දෙකකට පස්සෙ ආවේ අපේ මංගල දවස.. ඒ වෙනකොට මගෙ පොඩි වෙනසක් තියෙනව කියල ඔයා දැනගෙන හිටිය... වෙනදට මුනිච්චාවට හිනා මූණක් මවාගෙන ඉන්න මට පුළුවන් උනාට... වෙඩින් එක ලංවෙද්දි මට මාවම පාලනය කරගන්න බැරි වුනාද කොහෙද? වෙලාවකට මම බාත්රූම් එකට වෙලා පැයක් විතර එක දිගට අඬනවා... මමයි අරයයි ගත කරපු අවුරුදු හතර එහෙම සති දෙකකින් අමතක කරන්න බෑ කියල මම දැනගෙන හිටිය... මම ඒක කරන්න උත්සාහ කලෙත් නෑ..!

අපේ වෙඩින් එක දවසේ උදේ චාරිත්‍ර ඔක්කොම ඉවර කරල අපි හෝල් එකට ගියේ සංග්‍රහයට.... සංග්‍රහය බොහොම සරුවට තිබුන කියල යාන්තමින් මතකයි... හැබැයි මගේ අත තිබුනේ ඔයාගේ අත උඩ උනාට මගේ හිත තිබුනේ ලංකාවෙනුත් එහා... යාලුවෝ සින්දු කිව්වා, කතා පැවැත්වුවා... හැබැයි මට ඒ හැම එකක්ම ඇහුනේ යන්තමට.... ආ... මට මතකයි එක කතාවක පොඩි ෂොට් එකක් අරන් හිටිය පරණ යාලුවෙක් කියනව "මගෙ හිත ඉස්සෙල්ල තිබ්බේ වෙන කෙනෙක් ගාවලු, ඒ හිත ඔයාට දෙන්න තරං මං පරිත්‍යාගශීලි උනාලු... අන්න ඒ පරිත්‍යාගශිලිත්වයට ගරු කිරීමක් වශයෙන් මාව හැමදාම සතුටින් තියන්න කියල".... ඒක අහන් හිටපු කාගෙත් සිත්ගත් කතාවක් උනත් මගෙ හිත පසාරු කරන්න තරම් ඒක ශක්තිමත් උනා... මම හොරෙන්ම හෝල් එකේ වොෂ්රූම් එකට ගිහිනුත් ගොඩක් ඇඩුව... ආපහු එද්දී ඇස් දෙක හොඳටම රතු වෙලා තිබුන හින්ද යාළුවො හිතුවෙ මූ ගිහින් හොරෙන්ම ෂොට් එකක් දාගෙන ඇවිත් කියල...

අපි හෝල් එකෙන් පිටවෙලා යන මොහොත මගෙ ජීවිතේටම අමතක වෙන්නේ නැති අමරණිය මොහොතක්..! ඔයා අපේ දෙමව්පියන්ට වැඳල මගෙ අතත් අල්ලගෙන ගියේ ඔයගොල්ලන්ගේ දෙමව්පියන් ගාවට... ඉතින් අනිත් මිනිස්සු ඉස්සරහ අත අතහරින්න හොඳ නැති හින්ද මමත් අතින් අල්ලගෙන ආව...ඔයා අම්මව බදාගෙන අඬන්න පටන් ගත්ත ඉකි ගගහ.. මම ආපු වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන හිමීට අත අතහරින්න ගියෙ... ඒත් ඒ වෙලාවේ ඔයාගේ අතින් සිද්ද වෙච්ච දේ ඔයාට මතක නැතුව ඇති.. ඒත් ඒ දේ මට හොඳටම මතකයි..!

 ඔයා එක අතකින් අම්මව බදාගෙන අනිත් අතේ තිබ්බ මගෙ අත මට ගන්න බැරි වෙන විදිහට තදින් තද කළා...! මම තවත් ඔයාගෙන් අත ඇදල ගන්න උත්සාහ කලේ නෑ...! ඒ කරපු දෙයින් වචන දාහකින්වත් කියල ඉවර කරන්න බැරි හැඟීමක් ප්‍රකාශ වුනා... ඔව්... මම දන්නව ඔයා මේක අහනකොටත් මේක එච්චර දෙයක් නෙමෙයිනේ කියල හිතයි... ඒත් ඒක තමයි මාව වෙනමම මනුස්සයෙක් කරේ.... මෙච්චර වෙලා ඔයා ලස්සනින් දෙවෙනියට පෙනි පෙනී හිටපු මට ඒ වෙලාවේ ඉඳන් ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල දිහා බලන් ඉන්නව වගේ සන්තෝෂයක් ඇති උනා...ඇත්තටම ආදරය දෙවෙනි පාරට කෙනෙක්ට ඇති වෙන්නේ හරිම කලාතුරකින්..! ඔයාට ඒ වෙනස කරන්න පුළුවන් වුනේ පුංචිම පුංචි දේකින්... එදා මගෙ හිතේ ඇතිවුණු ඒ ආදරය අද වෙනකන්ම නොවෙනස්ව තියන්න ඒ අතට පුළුවන් උනා... එදා ඔයා මගෙ අතින් ඒ විදිහට ඇල්ලුවෙ නැත්තන් අද අපි දෙන්නගෙ ජීවිත හරිම වෙනස්... බොහෝ විට අපි දෙන්න දැන් වෙන්වෙලා.. මට මගෙ හිතේ ඉස්සර තිබුන ආදරය යටපත් කරගන්න ඔයා මට නොදැනුවත්වම උදව් කරලා... ඒ අතින් අල්ලපු වෙලාවේ ඇතිවුණු සිතුවිලි මට කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරිවේවි...! ඒවා වචනයෙන් විස්තර කරන්න බැරිවෙන තරමට ඒවායේ අගේ රැකෙනවා... මේ වගේ පුංචි දෙයකින් ගලක් වගේ තිබ්බ මගෙ හදවත මෙලෙක් කරන්න පුළුවන් වුණු ඔයත් එක්ක කල්ප කල්පාන්තරය දක්වා එකට සිටින්න ලැබේවා....!

මෙයට,
සදාදරණිය,
සැමියා...!               

Dec 21, 2011

සමීකරණයෙන් ව්‍යාපාරයට පෙම් හසුනක්... විදුහල්පතිගේ අතටම මාට්ටු වෙයි!




එක්තරා ප්‍රසිද්ද පාසලක අපුරු පෙම්වතුන් යුවලක් සිටියහ. පෙම්වතිය 12 වසරේ සිසුවියකි. පෙම්වතා 12 වසරේ සිසුවෙකි. ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන් රසබර ලිපි හුවමාරු කරගත්හ. දිනක් සිසුවිය ලියූ ලිපියක්  ප්‍රධාන ශාලාවේ බිම වැටී තිබී විදුහල්පති තුමාට හමුවිය. මේ ලිපිය විදුහල්පති තුමා උදෑසන රැස්වීමේදී සිසුවියක ලවා කියැව්වේය. එම අපුරු ලිපිය මෙසේය...

***
                                                                                  අද 8 යිලු නේද?

මා සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි,

ඔබගේ සිත නමැති ව්‍යාපාරයේ මගේ සිත නමැති ආයෝජන මුදල තැන්පත් කිරීමෙන්, ඔබගෙන් ලැබෙන්නා වූ සත්‍ය ප්‍රේමය නමැති කොටස කරණ කොටගෙන මාගේ සිතේ ජනිත වූ ලාභය හුදු ප්‍රේමයෙන් ඔබ වෙත පිරිනමමින් මෙම ධනයෝජිත ගිණුම ආරම්භ කරමි.

ඉතින් සොයුර.... ඔබ මා වෙනුවෙන් විඳි දුක්ගැහැට කොපමණද? මාගේ සිතේ වේදනාව මුදක් වැල් පොළියක් මෙන් දිනෙන් දින මසෙන් මස ලියලන්නේය. සියල්ල ඉවසගත්තේ සිතත් වේදනාවත් වෙනත් පෙම්වතෙකුට සුළු පොලියට දෙමින්ය. එදා ඔබ Y(වයි) අක්ෂයේදී මම X(එක්ස්)  අක්ෂයේදී පෙනී සිට අපගේ මූල අක්ෂය හරහා යැව් රේඛාවේ අනුක්‍රමණය සෙවීමට ගොස් මාගේ අන්තඃඛණ්ඩය මම විසින් නැති කර ගත්තෙමි. එය මා මෙන්ම ඔබද දනී.

ඉතින් මාගේ පරාවල ප්‍රස්ථාරය, ඔබ එදා වාගේ උපරිම අගය සෙවීමට ගොස් තව ටිකෙන් ඔබව බින්දුවට සමාන වීමට ඉඩ තිබුනා. ඔබත්, මමත් බස හෝල්ට් දෙකක් අතර තනි වෙද්දී ඔබගේ මව දුටු වෙලාවේ අප තිදෙනාගේ ලක්ෂ තුන යාවී කෝණ තුනේ අගය අංශක 180 වීමට ඉඩ නොදී අප වෙන්වී පලා ගියේ අපගේ පෙර පිනකට නොවේද? ඉතින් මාගේ පරිධිය කේන්ද්‍රයේ ඔබ එදා සිටියදී ඔබගේ අරයෙන්, එම වෘතයෙන් මම භ්‍රමණය වී ගියේ යම්කිසි පරිමිතියක් ඔබ වෙත බැල්ම හෙලා තිබූ බැවිනි.  යම හෙයකින් කුමන හෝ නීතියක් ගත්තත්, යම්කිසි අනුයාත පදයක් ඔබට කරදර කරයි නම් මම ඔහුව වර්ගකර මූල සොයා දෙකෙන් බෙදා දෙකෙන් බෙදා බින්දුවට සමාන කරමි. ඉතිං මාගේ පෙම්වත අංක බින්දුව මෙසේ ගත් ඔබේ ලක්ෂයේද මා මගේ ලක්ෂයේද සිටියදී අපේ එකතුවට පයිතගරස් ප්‍රමේය තිබෙන තුරු කිනම් අනුයාත පදයකටවත් බාධා කල නොහැකිය. ඉතිං මම නවතිමි.  

                                                                                 මීට,
                                                                                 ඔබ පෙම් බැඳි                                                                                  සමීකරණය.

***

විදුහල්පති තුමා මේ ලිපිය කාගේදැයි සොයන්නට උත්සාහ නොගත්තේය. නමුත් එය ඔහුට රසවත් බව පමණක් කීවේය. ඉහත කී පෙම්වතා අද මහජන බැංකු ශාඛාවක කළමනාකරුවරයෙකි. පෙම්වතිය ගණිත ගුරුවරියකි. නමුත් ඔවුන් දෙදෙනාට විවාහ වීමට නොහැකි විය.

උපුටාගැනීම : පුවත්පත් ලිපියකි (ශ්‍රීමතී විජයලත් - අඹන්පොල)

Oct 20, 2011

ආදරේ කරද්දී මෙහෙම එව්වත් සිද්ද වෙනව




එදත් සුපුරුදු පරිදි මම යාළුවොත් එක්ක ක්ලාස් එක ඇරිලා මහපාරට එන පාර දිගේ හෙමින් හෙමින් ආව. යාලුවෝ සෙට් ඒකෙන් හිමීට කැපිල එයා ලඟට එන්න හිතුනේ එයා තනියම හිටපු නිසා වෙන්නැති. ඇරත් මට එයා ලඟට එන්න ලයිසන් ඕනෙත් නෑනේ. ඒක අපේ පන්තියට එන හැමෝම දාන්න රහසක්.

පිටිපස්සෙන් ගිහින් ඔලුවට ටොක්කක් ඇන්නම් වෙනදට ඌයිය කියල මටත් ටොක්කක් අනින එයා  එදා ඇනපු ටෝක්කට මුකුත් නොකිය හිස් බැලමකින් මගේ ඇස් දෙක දිහා බලපු හැටි අද වගේ මතකයි. ඒ මූණ ඔයාව ආශ්‍රය කරපු මුළු අවුරුදු එකහමාරටම මම දැකල තිබ්බේ නෑ. එදා ඔයාගේ ඇස් දෙකේ හැංගිලා තිබ්බේ බයද, දුකද නැත්තම් අසරණකමද කියල මට එදා එකපාරටම හිතා ගන්න බැරිඋනා.

"මොකද බං ඔය විදිහට බලන්නෙ? අදුනන්නේ නැති එකෙක් වගේ"

"මේක මහ පිස්සුවක්
ලහිරු"

"ඇයි දැන් මොකක්ද පිස්සුව?"

"අපේ ආදරේ තමා"

"කව්ද ඒක එහෙමයි කියන්නේ?"

"මම"

ඇත්තටම මම ඒ වෙලාවේ පොඩ්ඩක් ගොළු උනා. මොකද එයා ඒ විදිහට අපේ ආදරේ බාල කරලා කතා කරපු පලවෙනි දවස එදා හන්ද.

"ඔව්! අපි ගොඩක් හොඳින් හිටිය තමයි ඒත්"

"ඒත් ?"

"ඒත් මට හිතාගන්න බෑ"

"මොනවද හිතා ගන්න බැරි?" 

"ඉහි.. ඉහි.." එයා ඉකි ගගහ අඬන්න පටන්ගත්ත. වෙනද විදිහටම එයාගෙම ලේන්සුව අරගෙන එයාගේ කඳුළු පිහදාන්න මට උනා. 

"අයියෝ... ඔහොම අඬන්න එපා ලමයෝ මිනිස්සු බලන් ඉන්නවනේ අනික මේ මහපාරේ!"

"කව්රු බලන් හිටියත් මට මොකෝ?" අපි දිහා බලන් හිටිය අක්ක කෙනෙක්ට රවන ගමන් එයා මගෙන් ඇහුව

"හරි හරි... දැන් කියන්නකෝ... මොකක්ද ප්‍රශ්නේ?"

"අපේ ගෙදරින් හැමදාම බනිනව ගණන් වලටයි ෆිස්ක්ස් වලටයි ලකුණු අඩුයි කියල ලහිරු!"

"ඔය බැනුම් වලට බය වෙලා හරියන්නෑ කෙල්ලේ. ඔයා දන්නවනේ ඔයාට කරන්න පුළුවන් කියල?"

මුකුත් නොකියම එයා ඔලුව වැනුව.

"එහෙනං එච්චරයි! දැන්වත් හිනා වෙලා ඉදින්කෝ!"

"ඒත් මට ගෙදරින් කියනව ඔයා එක්ක තියෙන සම්බන්දෙ නිසාලු මේ ඔක්කොම?"

"මොකක්! ඔයා ගෙදරටත් මං ගැන කියලද තියෙන්නේ?"

"ඔයා දන්නවනේ ලහිරු මම ගෙදරට මුත් හංගන්නේ නෑ කියල!"

"කමක් නෑ කමක් නෑ පිස්සු විකාරේ! ඒත් මොකක්ද අර සම්බන්ධයක් නවත්තන කතාව?"

"ඔව් තාත්ත කිව්ව අදම ඔයත් එක්ක කතාකරගෙන මේක නවත්තන්න කියල"

"හ්ම්ම්... ඒකත් එහෙමද? ඒත් මම දන්නව මගේ පැණි බුන්දිය මාව දාල යන්නේ නෑ කියල"

"මට සමාවෙන්න ලහිරු අම්මලට පිටු පාන්න මට බෑ!"

මුළු ජීවිතේටම අහපු එපාම කරපු වචන ටික වෙන්නැති ඒ. පපුව හෝස් ගාල ගියා!!! මුකුත් නොකියම මම අතින් මුණ වහගත්තේ තවත් එයාගේ මුණ බලන් ඉන්න ලැජ්ජ හිතිනු හන්ද

ඒත් එකපාරටම...

"හි හි හි හි හි හි හි හි හි හි හි"
"අනේ ලහිරු ඕකට ඔච්චර මූඩ් ගැහුවද? අයියෝ පිස්සු පූස! මම විහිළුවක්නේ මෝඩයෝ කලේ!"

මේ මොකද මේ වෙන්නේ? ඇත්ත තත්වය අවබෝධ කරගන්න මට පොඩ්ඩක් වෙලා ගියා! මේකි ඇත්තටම විහිලුවක්ද කරලා තියෙන්නේ?

"මොනවද කොල්ලො තව හිතන්නේ? යමුද දෙන්නත් එක්ක සරසවි එකට? ප්‍රශ්න පත්තර වගයක් ගන්න තියෙනව."

දැන්නම් මගෙ හිතට පොඩ්ඩක් සහනයක් දැනුන. ඒත් මේක ඇත්තටම විහිලුවක්ද කියල සැක හැර දැනගන්නත් ඕනේ.

"ආයේ මේ වගේ විහිළු කරන්න එපා!"
"තේරුනාද?" ඔලුව මැදට හයියෙන් ටොක්කක් අයින ගමන් මම ඇහුව

"ඌ...යියා"

අනිත් පැත්තට මට ප්‍රති ප්‍රහාරයක් ලැබුන.

Oct 17, 2011

මිරිඟුව (1 කොටස)




"ගෑනිගේ පව්කාරකම් නිසයි මිනිහ නැතිවුනේ"

මිනියට ඔලුව තියාගෙන ඉකි ගගහ අඬන දසුනිගෙ සිනිදු කන් පෙති අතර නිතරම රැව්දුන්නේ සමන්ති අක්කගේ සැරපරුෂ වාක්‍යයයි.
 
ඇයි දෙයියනේ දෙයියෝවත් බලන්නැත්තේ මේ ගෑනිගේ දුක?
වැන්දඹු ගෑනියෙක්ට මෙහෙම අපහාස කරන එක හරිද? ගෑනියෙක් මේ වගේ අමාරුවක වැටුනම අහල පහල දන්න කියන අය උදව් කරන්න ඕනේ නේද? මෙව්වා කොහොම වෙතත් බුදු දහමෙත් කියල තියෙනව අනුන් කල අකුසලයක් තවත් අයෙකුට පල දෙන්නෙ නෑ කියල. ගමේ ගොඩේ ගෑනුන්ට මේව්ව කියල දීල වැඩක්යැ? උන් බලන් ඉන්නේ තවත් ගෑනියෙක් කරදරේක වැටුනම පොඩි ඇනුම් පද දෙක තුනක් කියල මුළු චරිතෙම විනාශ කරලා දාන එක. ගම් දනව් ගැන එක එක්කෙනා කොයි තරම් සුන්දර කවි කතන්දර ගෙතුවත් යථාර්ථය ඕකයි.

දසුනි ලහිරු එක්ක විවාහ උනේ මීට මාස හතරකට ඉස්සෙල්ල. දසුනි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරල නිම උනාට පස්සේ ගුරුවෘත්තිය තෝරගත්තේ පොඩි කාලේ ඉඳන්ම ටීචර් කෙනෙක් වෙන්න ආස කරපු නිසා. ඔහොම අවුරුදු දෙකක් යන්නැති. අලුතින් ආපු ගුරුවරුන්ට දෙනවනෙ දුෂ්කර කියල එකක්. ඒ කියන්නෙ තමන්ට හුරු පුරුදු පැත්ත නෙමේ ටිකක් එහාට ඒ කියන්නෙ දුෂ්කර පළාතකට දානවා ඒවායේ පාසල්වල ගුරු හිඟය පුරවන්න. ඉතින් දසුනිට තමන්ගේ උපන්ගම වූ කටුගස්තොට දාල කුරුණෑගල පැත්තේ නමවත් හරියට ප්‍රසිද්ද නැති කනිෂ්ට පාසලකට යන්න වෙච්චි. කොහොමින් කොහොම හරි ඒකත් ඉතින් අමුතුම අත්දැකිමක්නේ කියල හිත හදාගෙන දසුනි ඒ ගමටත් ගියා කියමුකෝ. ඔය අතරවාරේ තමා දසුනිගේ අම්මටයි තාත්තටයි මේකිව බැඳලා දෙන්න රුදාව ආවේ. අම්මටත් වැඩිය තාත්ත තමා මේක ඉක්මන් කරන්න ඕනේ කියල බල කරන්න පටන් ගත්තෙ. මිනිහ නාකි නිසා වෙන්නත් ඇති. තමන්ගේ දුවගේ මංගල්ලේ තමන් ජිවත්ව ඉන්දැද්දී කරගන්න ඉතින් මොන තාත්තද අකමැති? ඊටත් ඕකේ අනිත් පැත්ත වෙනවට මොන තාත්තද කැමති? ආ... මට වැරදුනා! තාත්ත නෙමේ අප්පච්චි. නුවර පැත්තේ උදවිය එහෙමනේ කතාබහ.

කොහොමින් කොහොම හරි අනුරාධපුර ඒත් නම එච්ච‍ර ප්‍රසිද්ද නැති ගම්මානෙක ඉංජිනේරු උපාධිධරයෙක් වූ ලහිරු දසුනිගේ මාමගේ මාර්ගයෙන් අප්පච්චිට මුණගැහෙන්නේ මෙන්න මේ කාලයේදී. දසුනියි ලහිරුයි එකම වයසේ උනාට ලහිරු දසුනිට වැඩිය මාස පහක්ද කොහෙද වැඩිමල්. දසුනි පේරාදෙණියේ යුනිවසිටි ගිය කාලේ ලහිරු ගිහින් තියෙන්නේ මොරටුවට. ඉතින් අනුරාධපුර කොල්ලෙක් උදේ හවහ මොරටු යන්නයැ? කරුමෙට නේවාසිකාගාරත් හම්බ උන් නැති නිසා ලහිරු නැවතිලා තියෙන්නේ ඔය කියන දසුනිගේ මාමලාගේ ගෙදර. ඉතින් ගෙදර කාලයක් තිස්සෙම නැවතිලා හිටපු නිසා මාම ඒ කියන්නෙ දසුනිලගේ අප්පච්චිට ලහිරු ගැන කිව්ව එක්කෙනා ලහිරුව හොඳට අඳුනනවා. ගති ගුණ ගුණ නොහොඳ හැම දෙයක්ම මාම මේ තරම් දන්නෙ ලහිරු ඒ අයගේ ගෙදර අවුරුදු 4 ක්ම නැවතිලා හිටපු නිසා. කැම්පස් ගිය කට්ටියගෙන් නොබීපු අතලොස්සක් හිටියනම් ලහිරු ඒ අයගෙන් එකෙක්. දන්නැද්ද ඉතින් මොරටුව කිව්වොත් බෝතලෙටමනේ?

ඔන්න ඉතින් ඔය ප්‍රවෘත්තියත් එක්කම දසුනිගේ අප්පච්චිගේ එකම බලාපොරොත්තුව උනේ ලහිරුවයි තමන්ගේ දෝණි පොඩිත්තවයි කොහොම හරි එකට ඈඳන එක. ඒ මොකද මෙච්චර රූමත් තරුණියකගේ අත ගන්න පතාගෙන ආපු බොහෝ දෙනෙක්ට අප්පච්චිගේ හිත ගන්න බැරි වීම. නුවර පැත්තේ මගුල් ඔහොමමනේ! දෙමව්පියන්ගේ කැමැත්තට තමා ඔක්කොම.

ආ මට කියන්නත් බැරි උනා!!! දසුනිගේ ලස්සන විස්තර කරලා ඉන්නනෙ තිබ්බේ ඉස්සෙලම. හැබැයි ඉතින් ඕක විස්තර කරලා කියන්න වචන එක්දාස් පන්සීයක රචනාවක් ලිව්වත් බැරිවෙයි. ඉතින් හිතාගත හැකිනේ කොහොමද කියල. සුපිරිම රූපෙ. වැඩි කතා කියන්න ඕනේ නෑ, ඉස්කෝලේ යන කාලේ කොල්ලො හයක් විතර හිටිය. තව ට්‍රයි කරපු උන් කොච්චර ඉන්න ඇද්ද?

ඉතින් ඔන්න අප්පච්චි දසුනිට ලහිරු ගැන හොඳ අතිශ්යෝකිතියෙන් විස්තරයක් එහෙම දීල දසුනි මොනවද හිතන්නේ කියල ඇහුව. තරමක් ආඩම්බරකාර යව්වනියක් උනු දසුනි එක පාරටම කැමති උනේ නෑ! බඳින්න තව කල් තියනවා කියලයි දසුනිගේ අදහස උනේ. ඒත් ඉතින් මේ අප්පච්චියත් එක්ක ඕව බෑ! කිව්වොත් කිව්වමයි. ආයේ කතා දෙකක් නෑ, කර බාගෙන ලිඳට උනත් පනින්න ඕනේ! ඒ ඉතින් ඉස්සර නිලමේ පරම්පරාවෙන් පැවත එන අයගේ ජානගත පුරුද්දක්නේ! මම විතරයි හරි.

කොහොම හරි වැඩි වාදයකින් තොරව දසුනි ලහිරුගේ ඇත ගන්න කැමතියි කියල බලෙන්ම වගේ අප්පච්චි දසුනිගේ කටින්ම කියෝගත්ත. ඔන්න ඉතින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල උඩරට විදිහට ඔසරියයි නිලමේ ඇඳුමයි දාල මංගල්ලේ චාම් විදිහට ගත්ත. නෑදෑයෝ ඔක්කොටම එන්න කියල නුවරදි තමයි මංගල්ලේ ගත්තේ!

මතුසම්බන්ධයි   
Related Posts Plugin for WordPress, Blogger...