Showing posts with label උපහාර. Show all posts
Showing posts with label උපහාර. Show all posts

Mar 28, 2012

ඇල් ටී ටී ඊ ඉතුරු කර ගිය දෑ බලන්නට ගියෙමි... (පින්තූර සහිතයි)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුත්තූර්, නන්දිකඩාල්, පරන්තන්, වෙල්ලමුල්ලිවයික්කාල්, සාම්පූර්.... අහල පුරුදු නම් ටිකක් නේද? 2009 මැද හරිය වෙනකොට ටීවී එකේ තිස්සෙම ඇහුන නම් ටිකක්... ඉතින් යුද ජයග්‍රහණයේ උණුසුම ටිකෙන් ටික මැකිලා යද්දී පවුලේ උදවියත් එක්ක ගියා ඔය පැත්ත බලල එන්න...

අව්ව හරිම අවුල්..! ඊට හපන් දූවිල්ල... ඉවසන්න බෑ.. හරියට නිකං පහුගිය කාලේ P අකුරට F අකුර මාරු කරගත්තු උන් FB chat කරනව වගේ..  

***
X: kohomada?

Y: aaah.. fatta fatta

X: eka neme bn. mata fatta kallak set unane langadi

Y: fala fala do yanna...

X: boru neme yako... foddak hitapan mama photo ekak fennannam....

...

Y: ado.... fattane.. mata folawa falagena yanna hithenawa oi! :O

***

හැබැයි කව්රු හරි යනවනම් අප්‍රේල් මැද හරිය වෙන්න ඉස්සෙල්ල යන්න.. මොකද අප්‍රේල් මැද වෙද්දී මේ ඔක්කොම නටබුන් හා සුන්බුන් බුල්ඩෝසර් කරනවලු.. එතකොට මුකුත් බලන්න හම්බවෙන්නේ නෑ...! මෙන්න යටින් තියෙනවා පින්තූර ටික ට්‍රිප් එකේ...



                                                 මුහුදු කොටි නායක සුසෙයි ගේ නිවස
                               

සුසෙයිගේ පුළුන් පුරවපු කොටියා

සුසෙයිගේ කාමරයේ ඇති අල්මාරිය.. මෙහි ඇතුලින් රහස් උමගකට පිවිසිය හැකිය

මෙය බිත්තියකි
 සරුවට වැවෙන කැරට්.. 

එම ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ මෙවැනි සිදුරු ඇත... මේවා වෙඩි වැදීමෙන් සිදු වූ ඒවාය



Feb 14, 2012

එක දවසින් කිලෝ 4ක් බස්සගන්න... බොක්සිං ක්‍රීඩකයින්ගේ රහස හෙළිවේ....!




ලඟදි අර බොක්සිං ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් එක්ක මටත් මගෙ අවුරුද්දක විතර ඈත අතීතය මතක් උනා.. ඒ මොකද බුද්ධි ඉන්දීර සොහොයුරා වගේම මමත් බොක්සිං ගහන්න ගියෙ ගෙදරට නොකියා..

කාල වකවානුව 2011 මාර්තු සිට අගෝස්තු පමණ දක්වා මට මතක විදිහට.. ඒ දවස්වල සා/පෙ කරල 12 වසරට පය ගහපු කාලේ වෙච්චි.. ඔය කාලෙ නෙ ගොඩක් කට්ටියට ජීවිතේ කවදාවත් අමතක නොවෙන අත්දැකීම් ලැබෙන කාලේ.. ඔන්න ඉතින් මාතරෙත් සාපෙ රිසල්ට් එහෙම අහල පොඩ්ඩක් විනෝදෙන් කාලේ ගතකරන කොට බෝඩිමේ සෙට් එකකට ඔය බොක්සිං ගහන්න ආසාවක් ඇතිවුනා.. සෙට් එකක් කිව්වට හත්දෙනෙක් විතර.. ඉතින් බෝඩිමේ බොක්සිං ගහල පොඩ්ඩක් පළපුරුදු එකෙකුත් එක්ක තමයි ප්‍රැක්ටිස් යන්න හිතාගත්තේ.. හිතාගත්ත විදිහටම දවසක උදේ වරුවක් අල්ලල සෙට් එක පිටින්ම ගියා ප්‍රැක්ටිස්...

බොක්සිං කිව්වම ඉතින් ගොඩක් කට්ටියට මුලින්ම මතක් වෙන්නේ නහය කඩාගෙන ලේ ගලන එකෙක් එහෙමත් නැත්තං අර රෙස්ලින් මැච් වල වගේ බිම වැටුනට පස්සෙ පොලවට ගහන රෙෆ්රියෙක්... ඇත්තටම කිව්වොත් මමත් ඉස්සෙලම හිතාගෙන ගියෙ ඔය විදිහට හැබැයි පොඩ්ඩක් කල් යද්දී තේරුනා මේක පොඩ්ඩක් රහයි කියල.... මම කලින් කරපු බාස්කට්බෝල්, කැඩෙටින් වලට වැඩිය චුට්ටක් හොඳයි... ඒ මොකෝ ඒවායේ ප්‍රැක්ටිස් හැමදාම.. ගියෙ නැත්තං කණ්ඩායමේ නෑ... ඒ අතින් බොක්සිං තනිපුද්ගල ක්‍රීඩාවක්.. ප්‍රැක්ටිස් ගියොත් තමන්ට නැත්තං ඒත් තමන්ට...

ප්‍රැක්ටිස් එක්ක කාලය ගෙවිල යද්දී මට පාසල් බොක්සිං සංගමය සංවිධානය කරන L. V. ජයවීර කුසලානයට සහභාගී වීමට වරම් ලැබුවා... L. V. ජයවීර කියන්නෙ නවක බොක්සිං ක්‍රීඩකයින්ගේ තරඟය.. L.V ජයවීර එක පාරක් ගහපු කෙනෙක්ට දෙවෙනි පාර ගහන්න බෑ.. මේ වෙනකොට ඉතින් මාතරෙත් ඉස්කෝලේ බොක්සිං සර්ගෙ හොඳ ගෝලයෙක් වෙලා ඉන්න කාලේ නොවැ.. L. V ජයවීර යනවමයි කියල හිතාගෙන උන්නේ...

මේ ඔක්කොටම ඉස්සෙල්ල බොක්සිං ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්කො...

බොක්සිං වලට අවුරුදු 5000ක විතර ඈත අතීතයක් තියෙනව.. පුදුම උනාද..? පුදුම වෙන්න දෙයක් නෑ. මිනිසා කියන එක්කෙනා බිහිවෙච්ච දා ඉඳල ඔය පොඩි පොඩි හේතු වලට බෝකිසින් ගහගත්තනේ... ඉතින් ඔය බොක්සිං නීති රීති ටිකකුත් එක්ක ක්‍රීඩාවක් විදිහට ආරම්භ වෙලා තියෙන්නේ අවුරුදු 5000කට පෙර..

බොක්සිං ක්‍රීඩාවේ මුලික අරමුණ නිශ්චිත කාලයක්‌ ඇතුලත (වට 3ක්) ප්‍රතිවාදියාගේ ලකුණු ලැබෙන ස්ථාන වලට පහර දීම.. එහෙමයි කියල හැමතැනටම ගහන්න බෑ.. ! ගහන්න පුළුවන් මූන, බඩ, පපු ප්‍රදේශයට පමණයි... එහෙමත් නැත්තන් ප්‍රතිවාදියාට තරඟ කරන්න අපහසුයි කියල විනිශ්‍යකරුට හෝ ප්‍රතිවාදියාගේ පුහුණුකරුට තේරෙනවනම් ඒත් දිනුම අපිට...

බොක්සිං තරඟයකදී එයට තරඟයක කියල කියන්නෙ නෑ.. බොක්සිං ව්‍යවහාරයට අනුව ඒකට කියන්නෙ බවුට් එකක් කියල.. ඒ වගේම බොක්සිං තරඟයක තරඟකරුවන්ව වෙන් කරන්නේ රෙඩ් කෝනර්, බ්ලූ කෝනර් කියල.. රෙඩ් කෝනර් ඉන්න කෙනා රෙඩ්... බ්ලූ කෝනර් ඉන්න කෙනා බ්ලූ.

තරඟයේ නීති රීති වගේම ආරක්ෂාවත් වැදගත්කොට සලකනව... බොක්සිං කිට් එක ඔලුවේ සිට මෙහෙමයි... මුලින්ම හෙඩ් ගාඩ්... මේක දාන්නේ ඔලුවට.. :P හිසේ පිටුපසත් නළලත් ආරක්ෂා වෙනව.. මේක අපේ බවුට් ඒකට බවුට් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා... ඊට පස්සෙ ස්කිනියයි, ෂෝටයි.. මේවානම් අපි අරං යන්න ඕනේ.. ඊට පස්සෙ අත් දෙකට බැන්ඩේජ්, මේවත් අපේ ගානේ.. ඔන්න ඊළඟට ඒ ගොල්ලෝ ගානේ ග්ලව්ස්, මේවත් හෙඩ් ගාඩ් එක්ක තමයි ලැබෙන්නේ.. ඊළඟට සපත්තුයි, මේසුයි.. ඒවා කොහෙන් හොයාගත්තත් අදාල නෑ....    

හරි ඔන්න ආයේ කතාවට.... ඉස්කෝලෙන් යවන L. V ජයවීර කණ්ඩායම තෝරන්න පටන් ගත්තේ තරඟයට දවස් දෙකක් තියල... සර් එදා එකපාරටම මට කියපි මගෙ බර පන්තිය ගහන එක්කෙනෙක් ඉන්නවාය... ඒ හින්ද බර කිලෝ හතරක් අඩු කරගන්න ඕනේ කියල...!

වාසනාවට වගේ එක දවසෙන් කිලෝ තුන හතරක් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් අපේ බොක්සිං ක්‍රීඩකයෝ ගාව තිබුන....

1. පළවෙනියටම කිලෝමීටර 3ක් පමණ නොනවත්වා දිවීම...
2. දිවීමට පෙර හෝ පසු වතුර නොබීම
3. දිවුවාට පසු පොලිතින් උරයක් තුලට වී අව්වේ විනාඩි තිහක් පමණ සිටීම
4. ආයේ දිවීම
5. බර බැලීම
6. අවශ්‍ය බර පැමිණ තිබේනම් නැවත්වීම... නැතිනම් නැවත පලවෙනි පියවරට යෑම

7. රෑට නොකෑම.. (බැරිමනම් ඔය පරාටයක් වගේ වෙළුන යමක් කෑම)
8. වැරදිලාවත් වතුර නොබීම
9. හැකි තරම් අපද්‍රව්‍ය පිටකිරීම

ඔන්න ඔහොමයි එක දවසෙන් කිලෝ හතරක් බස්සගත්තේ ...


කතාවේ ඉතුරු ටික එච්චර රස නෑ... කෙටියෙන් කිව්වොත් බවුට් දෙකයි ගැහුවේ, එකක් දින්න, එකක් කෑවා... දෙකේම ගැහුවේ රෙඩ් කෝනර්.... ඒ හින්ද පැත්තේ වැරද්දක් කියන්නත් බෑ... මටම තේරුණා මට බොක්සිං හරියන්නෑ කියල... කාපු එක දින්නනම් මට ලෝකඩ පදක්කම... ඒත් මගෙ වෙලාවට වෙන්නැති ඒක පැරදිලා තරගෙන් ඉවත් වෙන්න සිද්ද වුනේ.. හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනව නේ... නැතත් ඉතින් මිදි කොහොමත් තිත්තයි නොවැ! 

***


වීරයෙකු ලෙසින් අප හැර ගිය ඔබ හෙළදිව බොක්සිං ක්‍රීඩාවේ අමරණිය චරිතයක් වනු ඇත... 

Nov 9, 2011

ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවෙන කතා...!


අවුරුදු හතරෙන් හතරට පවත්වන ඔලිම්පික් තරඟයට ලොව පුරාම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන්නේ හද පුරා බලාපොරොත්තු පොදි බැඳගෙන. එසේ එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් ලොවටම අමතක නොවන, හදවත සලිත කරවන සිද්ධිනුත් සිදු නොවුනාම නොවේ. මේ එම හදවතට වදින ඔලිම්පික් ඉතිහාසයේ සිදුවීම් කීපයක්.

ජැමයිකානු බොබ්ස්ලෙඩ් (Bobsled) කණ්ඩායම. [1998-කැනඩාව]

බොබ්ස්ලෙඩ් යනු හිම මත ලිස්සා යන රථයකින් හිම තරණය කිරීමයි. 1998 වසරේ ඔලිම්පික් බොබ්ස්ලෙඩ් තරඟය ජයග්‍රහණය කලේ ජැමයිකවයි. මෙහි විශේෂත්වය වන්නේ ජැමයිකාව මුළු අවුරුද්ද පුරාටම දැඩි හිරු රශ්මියෙන් සමන්විත වෙරළබඩ සංස්කෘතියට බර රටක් වීමයි. එක් දිනයකවත් හිමපතනය නොලබන ජැමයිකාව 1998 වසරේ ඔලිම්පික් උළෙලේදී ස්විට්සර්ලන්තය, නෝර්වේ වැනි හිමපතනය අධික රටවල් අරඹයා රන් පදක්කම දිනා ගැනීම කාගේත් පුදුමයට හේතු උනා.
 
**********************************************************************************

උතුරු හා දකුණු කොරියානු ක්‍රීඩකයන් [2000-සිඩ්නි]

සිතල යුද්ධය නිසා උතුරු කොරියාව හා දකුණු කොරියාව යන රටවල් හිටියේ බොහොම වෛරයෙන් බව අප සැම හොඳින් දන්නා කරුණක්. එහෙත් සිඩ්නිහි පැවැත්වූ 2000 වසරේ නැත්නම් සහශ්‍රවර්ෂ තරඟයේදී දේශපාලනය ක්‍රීඩාව තුලට අතපෙවීම වැලක්වීමට මෙම ක්‍රීඩකයන්ට හැකිවුනා. ඒ එම ඔලිම්පික් උළෙල විවෘත කිරීමේ උත්සවය දවසේ උතුරු කොරියානු සහ දකුණු කොරියානු ක්‍රීඩකයෝ එකම කොඩියක් යටින් එකම රටක් ලෙස ගමන් කිරීම මගින්. මේ අවස්ථාව මගින් මුළු ලෝකයටම පාඩමක් ඉගැන්වීමට කොරියානු ක්‍රීඩකයන් සමත් උනා. ඉන්පසු එදා සිට අද වනතුරු උතුරු හා දකුණු කොරියාව ඔලිම්පික් තරඟවලදී එකම රටක් නියෝජනය කරන්නට වුනා.

 


**********************************************************************************

ලෝව්රන්ස් ලෙරියුක්ස් [1988-දකුණු කොරියාව]

මේ කතාව ගොඩක් දෙනෙක් දන්නැති කතාවක්. ලෝව්රන්ස් ලෙරියුක්ස් 1988 වසරේ කැනඩාව නියෝජනය කරමින් දකුණු කොරියාවට ආවේ ඔරු පැදවීමේ තරඟයට සහභාගී වීමට. ඔහු සහජයෙන්ම  දක්ෂ ඔරු පදින්නෙක් උනා. මේ අවස්ථාව වනවිට ඔහු සහ ඔහුගේ සහයකයා ඔරු පැදීමේ අවසන් තරඟයේ දෙවන ස්ථානයේ පසුවුණා. තරඟය අවසන් කිරීමට ඔවුන්ට ඇත්තේ තව විනාඩි දහයකත් වඩා අඩු දුරක්. එහෙත් හදිසියේම දුටු දෙයකින් ලෙරියුක්ස්ගේ හිත කම්පා උනා. ඔහු දුටුවා සිංගප්පුරු කණ්ඩායමේ තරඟකරුවන් දෙදෙනා ඔරුවෙන් පෙරලී ගොස් ඇති බව. ලෝව්රන්ස් ලෙරියුක්ස් වහාම තරඟය ගැන අමතක කොට අර තරඟ කරුවන් දෙදෙනා බේරාගැනීමට ගියා. ඔවුන් අර දෙදෙනාවත් තම ඔරුවට දමාගෙන තරඟය අවසන් කරන විට ඔවුන් පසුවූයේ අවසන් ස්ථානයේ. නමුත් තරඟ සංවිධායකයෝ සහ ඔලිම්පික් කමිටුව සාකච්ඡා කොට ලෝව්රන්ස් ලෙරියුක්ස් ගේ කැනඩියානු කණ්ඩායමටඔවුන් තරඟයේදී දක්වපු මානුෂිය වික්‍රමයට ගෞරව කොට රිදී පදක්කම පිරිනැමුවා.



**********************************************************************************


ෆෝස්බෙරි පිම්ම [1968-මෙක්සිකෝව]

උස පැනල තියෙන කට්ටියටනම් විශේෂ දෙයක් නෙමේ. ඇරත් අපි මේක ගැන හත අට වසරවල සෞඛ්‍ය පොත්වලත් කියවල තියෙනව. මේ පිම්ම යොදාගන්නේ උස පනිනකොට. උස පනිනකොට යොදාගන්නා ක්‍රමය මේකයි කිව්වොත් නිවැරදියි. හැබැයි මේකේ ඉතිහාසයනම් ඉතා විශේෂයි. මොකද 1968 ට ඉස්සෙල්ල උස පැනපු අය හැමෝම වාගේ යොදාගත්තේ කෙලින් අතට පනින පිම්මයි. හැබැයි 1968 දී මෙක්සිකෝහි පැවති ඔලිම්පික් උළෙලත් එක්ක තමයි මේක මේ ක්‍රමේ වෙනස් වන්නේ. 1968 උසපැනීම අවසන් තරඟය, තරඟකරුවන් තුන්දෙනයි,,,, ඇමෙරිකාවෙන් දෙන්නයි සයිබිරියාවෙන් එක්කෙනයි... පළමු පිම්ම, ඩික් ෆෝස්බෙරි දුවගෙන විත් පැන්නේ අනිත් පැත්තට, බලා සිටියවුන් මවිත කරමින් උත්සාහය සාර්ථකයි!.... දෙවෙනි පිම්ම සයිබීරියාවේ තරඟකරු, පැන්නේ කෙලින් අතට. පිම්ම අසාර්ථකයි!... තුන්වෙනි පිම්ම ඇමෙරිකාවේ අනෙක් තරඟකරු, පැන්නේ කෙලින් අතට එහෙත් උත්සාහය සාර්ථකයි!

දැන් පැමිණෙන්නේ අවසන් අදියර එනම් රන් පදක්කම හිමි වන වටය. තරඟයට තේරී ඇත්තේ ඩික් ෆෝස්බෙරි සහ ඇමෙරිකාවේ අනෙක් තරඟකරු... පළමු උත්සාහය ඇමෙරිකාවේ අනෙක් තරඟකරු, සුපුරුදු පරිදි පැන්නේ කෙලින් අතට... උත්සාහය අසාර්ථකයි!!! දැන් එන්නේ ඩික් ෆෝස්බෙරිගේ උත්සාහයයි, කලින් පරිදි දුවගෙන විත් ෆෝස්බෙරි පිම්ම ලොවට හඳුන්වාදෙමින් අනෙක් අතට පනියි!!!! උත්සාහය සාර්ථකයි!!!!

**********************************************************************************

තාත්තගෙයි පුතාගෙයි කතාව [1992-බාසිලෝනා]

ඒ මීටර් 400 පිරිමි අවසන් තරඟයයි. ඩෙරක් රෙඩ්මොන්ඩ් යනු බ්‍රිතාන්‍ය තම බලාපොරොත්තු පොදි බැඳ තිබූ ක්‍රීඩකයා විය. ඒ ඔහු තුන් පාරක් රන් පදක්කමද එක් පාරක් රිදී පදක්කමද බ්‍රිතාන්‍යට හිමි කර දීම නිසාය. එහෙත් මේ අවස්ථාව වනවිට ඔහු කකුලේ මස්පිඩුවක ආබාධයට ලක්ව තිබිණි. එහෙත් තමන්ගේ එම අමාරුව නොතකා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඩෙරෙක් අදිටන් කරගත්තේය. නමුත් අවසනාවක මහත!! තරඟය මැදදී (මීටර් 150) ඩෙරෙක් ධාවන පථය මැද ඇද වැටෙයි... ඒ ඔහුගේ කකුලේ වූ, අබාධය උත්සන්න වීම හේතුවෙන්... ප්‍රථමාධාර දීමට සංවිධායකයෝ ධාවන පථය මැදට දිව ආවත් ඩෙරෙක් තම අබාධය ගණන් නොගෙන නොන්ඩි ගසමින් ඉදිරියට යයි...

මේ අවස්ථාවේදී එක් මිනිසෙක් ප්‍රේක්ෂකාගාරය රැක උන් ආරක්ෂක නිලධාරීන් ගෙන් මිදී ඩෙරෙක් වෙත දුව එයි... සංවිධායකයෝ කෙතරම් උත්සහ කලද මේ මහලු මිනිසා වැලක්වීමට ඔවුන් අපොහොසත් වෙයි!! තරඟයේ ඉතිරි මීටර් කිහිපයම මේ මහලු මිනිසා ඩෙරෙක්ව වාරු කරගෙන පැමිණ අවසන් රේඛාවට මීටර් කිහිපයක් තිබියදී ඔහුව නිදහස් කරයි.... නොන්ඩි ගසා පැමිණ ඩෙරෙක් ජය කණුව වෙත ළඟාවන්නේ ප්‍රේක්ෂකාගාරයේ අන් සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි...

එසේ රැකවල් බිඳ ඩෙරෙක්ව ජය කණුව වෙත වාරු කරගෙන පැමිණෙන්නේ ඩෙරෙක්ගේ පියා බව පසුව අනාවරණය වෙයි!!!



 
**********************************************************************************

නොම්බර 67, මීටර් 10,000 පිරිමි [1964-ජපානය]

මීටර් 10,000 පිරිමි මැරතන් අවසන් තරඟයයි... සහභාගී වන ක්‍රීඩකයන් ගණන 80යි... ඔව්.... මේ දැන් තරඟය ඇරඹුනා...ක්‍රීඩකයන් තරඟය අවසන් කිරීමට මීටර් 300ක් වන මේ ධාවන පථයේ වට 25ක් දිවිය යුතුයි... ඉදිරියෙන්ම දුවන්නේ නොම්බර 85 දරන ක්‍රීඩකයායි... ඔහුව පසු කිරීමට පිටුපසින් ඉතිරි 79 දෙනාම ලුහුබඳිනවා... දැන් අපට පෙනෙනවා මේ තරඟකරුවන් ක්‍රීඩකයෙක්ව වටයකින් පසු කරන අන්දම.... ඔව් තරඟය අවසන් වීමට තව ඇත්තේ එක  වටයයි.... ඔව්.. මේ අවස්ථාවේදී අපට පෙනෙනවා ඉතියෝපියාවේ ක්‍රීඩකයා තරඟය ජයගන්නා අන්දම... ඊට පිටුපසින් දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් බ්‍රිතාන්‍යට හා ජපානයට හිමිවනවා.... තරඟය අවසන් කිරීමට නොහැකි වේ යැයි සිතන ක්‍රීඩකයන් ධාවන පථයෙන් ඉවත්වෙන අන්දම අපට දැක බලාගත හැකියි!!!!...... ඔව් මේ ජය කණුව දැන් පසු කරන්නේ නොම්බර 67 දරන ක්‍රීඩකයායි...! ඔහු තරඟය අවසන් කළා යැයි වරදවා හිතන්න එපා!!! ඔහු තරඟය අවසන් කිරීමට තව එක වටයක් දිවිය යුතු වනවා.... මේ වනවිට අන් සෑම තරඟකරුවෙකුම පාහේ තරඟය අවසන් කර හෝ තරඟයෙන් ඉවත්වී තිබෙනවා....

ඒත් මේ නොම්බර 67 ක්‍රීඩකයා තරඟය අත් නොහරින ගානයි.... ඔව්.... ප්‍රේක්ෂකාගාරය නැගිට නොම්බර 67 දිරිමත් කරනු අපට මේ අවස්ථාවේදී පෙනී යනවා... ඔවුන් කුමක් කියාද මේ කෑ ගසන්නේ?...... කමෝන් සිලෝන් කමෝන් සිලෝන්??? ඔව් මේ ශ්‍රීලංකාව නියෝජනය කරමින් පැමිණි රණතුංග කරුණානන්ද බව අපට සුළු වෙලාවකට පෙර වාර්තා වුනා..... ඔව් මේ අවස්ථාව වන විට ඔහු තම අමතර වටය නිමාකොට අවසන් ස්ථානය හිමිකරගෙන, එහෙත් ජයග්‍රාහීව ක්‍රීඩකයන්ගේ කුටිය වෙත පැමිණෙන අන්දම අපට දිස්වෙනවා....!   
කරුණානන්දගේ දිවීම බැලීමට කරුණාකර වීඩියෝවේ 06.30 වෙනි මිනිත්තුවට වෙත යන්න 





වීඩියෝ: http://www.youtube.com


Nov 7, 2011

මාතරේ රන්ටැඹේ කැම්ප් ගිය වගයි!



ඒ 2009 අවුරුද්දය. වසරේ මැද හරියය. ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණියට අයිති පාසලක්‌ වශයෙන් සියලුම තෝරාගන්නා අදියරවල් පසුකර අපි ජූලි මාසයේ යෙදෙන වාර්ෂික බලඇණි ඇගයීම කඳවුර හෙවත් බැටෑලියන් කඳවුරට තේරී තිබුනෙමු. ඒ පුහුණුවීම් කෙරූ කාලයද ඉතා සුන්දරය. එහෙත් මම ඔබව කෙලින්ම  ගෙනියන්නේ රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට කඳවුරට වෙතටය.

කඳවුර  වෙත අප ගෙනයාමට ශිෂ්‍ය භට මුලස්ථානය මගින් උදේ හතට පමණ විශේෂ බස් රථයක අප පාසලට එවා තිබිණි. මාගේ මතකයේ හැටියට කඳවුරට ගෙනයාමට අපිට ගෙනෙන්නට කි දේ වලින් කීපයක් මෙසේය,
  1. පාසැල් නිල ඇඳුම් 2
  2. කැන්වස් සපත්තු කුට්ටමයි
  3. ටුත් පේස්ට් ටුත් බ්‍රෂ්
  4. සුදු ඇඳ රෙදි හා නිල් තුවාය (ඒ පාට වලින්ම ඕනේ කිව්ව)
  5. හැට්ට කටු (මොකට ගෙනිච්චද මන්ද? එක දවසකවත් ඕනේ උන් නෑ)
  6. බ්ලෙසර් එකයි ටයි එකයි
  7. එයාර් ෆ්‍රෙෂ්නර් [සතියක් ගඳ නොගැසීම සඳහා (පර්ෆියුම් ගේන්න එපා කිව්ව)]
  8. සෙලෝටේප් (ඒකත් මෙලෝ වැඩකට නෑ)
  9. ජොක්කු
  10. පටිජෝකා (ඉංග්‍රීසියෙන් සපොර්ටර්)
  11. බිස්කට් සහ බිම බෝතල්? (අපි ඒ කාලයේ ප්ලැටුන් එකේ සිටි පොඩිම උන් වෙච්චි)
කලින් සඳහන් කර තිබු බඩු ගෙනයාම සඳහා ට්‍රන්ක පෙට්ටි අපි සතියකට පමණ පෙර පාට කර තිබ්බෙමු.

බස් රාජයා වැඩම කල බව දැනගත් පසු අපි වීරයන් මෙන් සතියක දිගු නිවාඩුවක් සඳහා රන්ටැඹේ සඳහා පිටත්වී ගියෙමු. ගමන ඉතා දීර්ඝ එකක් විය. වරක් තේ බිම සඳහා බසය නවත්තන විට වෙලාව ගිනිමද්දහනට කිට්ටු බව දැඩි හිරු රශ්මියෙන් පසක් විය. එහෙත් තව පැය දෙකක්වත් යායුතු බව මොකෙක්දෝ මුසලයෙක් කියනු මට ඇසින.

අපි රන්ටැඹේ වෙත ලඟා වද්දී පස්වරු දෙක පමණ වී තිබිණි. රන්ටැඹේ පිවිසුම් දොරටුව ලඟට ලං වත්ම අපේ එකෙක්ට වමනය පිටවිණි. කෙසේ හෝ රන්ටැඹේ ජලාශය මැදින් වූ පාර දිගේ බස් රථය ඉදිරියට ඇදෙන විට අපිට අමුතුම හැඟීමක් දැනෙන්නට විය.

බස් රථය අපිව කඳවුර ඇතුලේ බස්සවා ට්‍රන්ක පෙට්ටි බිමට බාගත් පසු නික්ම ගියේය. දැන් සිටින්නේ අප විසිපස් දෙනා සහ ඛණ්ඩ භාර නිලධාරියා පමණි. ඉන්පසු එළඹියේ ට්‍රන්ක පෙට්ටි පරික්ෂා කර බලන වේලාවයි. සියලුම ළමුන්ට තම ට්‍රන්ක පෙට්ටිය විවෘත කර එය ඉදිරියේ සිට ගැනීමට අණ ලැබිණි. මොහොතකින් පරික්ෂා කර බලන නිලධාරින් විසින් අප පිළිවෙලට අසුරාගෙන ආ බඩු මුට්ටු සියල්ල කණපිට හරවමින් ඇවිස්සුවේ අප ඒවා තුල බෝම්බ හෝ මත්කුඩු සඟවාගෙන සිටින්නාක් මෙනි.

ඉන්පසු අපිට භට නිවාසයක් ලැබිණි. එදා හවසම ටී පාටියක් කියා අපිව මෙස් හෝල්(භෝජනාගාරය) එකට යැවූ පෝරියල් එක තාම මතක ඇත.... ඇත්තටම ටී පාටි කියන්නේ අප ඛණ්ඩයට තේ බිම සඳහා සිගු පෝලිමක හිඳ බාල්දියකට තේ රැගෙන ඒමය.... එයට මොකා ඒ නම තැබුවා දැයි නොදනිමි!

ඊළඟ දිනයේ තිබුනේ සරඹ සඳහා පුහුණු වීම්ය. ඒවත් ඉතා මනරම්ය... තුවක්කු ගෙන සීරුවෙන් සිටීමට නොහැකි වූ සමහරු සිහි නැතිවී ඇද වැටුනෝය.. අපගේ පුහුණු වීම් භාරව සිටි ප්‍රධානියාගේ හඬ දැනුදු මතක ඇත...

"මම තමයි රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකායේ XO!!! ඒ කිව්වේ අණ දෙන නිළධාරී... තේරුනාද?.... ඔව් නං ඔව් කියනවා නැත්තන් නෑ කියනවා... ඔය ඔලුව වැනිලි බෑ මෙහෙ.. හා.... හොඳයි.. මාත් එක්ක සෙල්ලම් බෑ කොල්ලනේ... මම මේ ග්‍රවුන්ඩ් එකේ ඔය වගේ බලඇණි සීයක් විතර කොමාන්ඩ් කරලා තියෙනව, උඹල මට මහ ලොකු දෙයක් නෙමේ... මම හොඳ එවුන්ට හොඳටම හොඳයි, හැබැයි නරක එවුන්ට අන්තෙටම නරකයි... තේරුනාද? තේරුනාද?.... හා හරි. එහෙනං අපි පටන් ගමු..."

හැබැයි වැඩි වෙලාවක් යන්න මත්තෙන් එක එකා වරද්දන්නටද පිස්සු නටන්නටද විය...

"ඕ.....යි! මොකද ඔය තුවක්කුව අරන් යන හැටි නිකන් අලියගේ පස් වෙනි කකුල වගේ.... උස්සන් යනවකෝ ඕක පිරිමි වගේ... මොකද අමාරුද දෙකට නැමිලා ඉන්නේ? දෙන්නද ඕකට හොඳ බේතක් ආයේ ජීවිතේටම දෙකට නොනැමෙන්න?..... මේක හරියන්නෑ වගේ... යනව ඔක්කොමල යටට... ඩිප් පොසිෂන්!... හරි මගෙ කොමාන්ඩ් එකට ඩිප්ස් ගහන්න ඕනේ තේරුනාද?.... හරි එකා....යි! හා... ඔහොම යට ඉන්නව මම නැගිටින්න කිව්වේ නෑ.. හරි අ...ප්, දෙකා....යි! යටට යනවල. ඔහොම ඉන්නව ඔහොම ඉන්නව... රායිට් අ...ප් ආයේ යනව තුනා....යි! මොකද මේ වදන රුදාවද? හ්ම්ම්.. හ්ම්ම්.. ගාන්නේ බඩදරු අම්මල වගේ? යනව යනව යටට යනව........! මේක හරියන්නෑ ගන්නව ඔක්කොමල තුවක්කු උස්සගනවල... ඔහොම උස්සගෙන දුවනවල රවුම් පහක් ග්‍රවුන්ඩ් එක වටේ!"

වදන රුදාව ඇති බඩදරු අම්මලා කිහිප දෙනෙක් නිසා අපටද ග්‍රවුන්ඩ් එක වටා දිවීමට සහභාගී වන්නට විය.

එහෙත් එහි ගෙවුණු ජීවිතය වචනයෙන් විස්තර කිරීමට අපහසුය. එහිදී අප උගත් දේ බොහෝය. එය වඩාත් විශේෂ වන්නේ අවට ලෝකය ගැන කිසිම දැනුමක් එහි ගත කෙරු කාලය තුල අපට නොලැබීමයි... කාලීන තොරතුරු කිසි දෙයක් එහිදී වැදගත් වුයේ නැත... කෙටියෙන්ම කියතොත් මයිකල් ජැක්සන් මැරුණා යයි අප දැනගත්තේ අප එයින් ආ පසුවය (කඳවුරේ ගතකල තෙවැනි රැය වනවිට ඔහු මියගොස් තිබිණි)...

කෙසේ නමුත් මාගේ ජිවිතයේ ගත කෙරූ දවස් වලින් මේ කඳවුරේ ගත කල දවස් හත කිසිදා අමතක නොවන සුන්දරම දවස් කිහිපයක් වන්නේය...!

Oct 28, 2011

ඔබ ඉතිං යන්න යනවා...


කව්රුත් මාත් එක්ක නැති වෙලාවට,
මගේ ලඟින්ම ඉඳගෙන පාළුව මකන්න සින්දුවක් හරි කිව්වේ ඔයා.
යාළුවො ළඟ නැති වෙලාවට,
එයාලව මගේ ලඟින්ම තිබ්බේ ඔයා.
කම්මැලි දැනෙන වෙලාවට
අතේ හිරි යන්න ගේම් එකක් හරි ගැහුවෙ ඔයා හින්ද
ඉන්ටනෙට්, ඇම් ඇම් ඇස් වැඩ කෑලි නැති උනාට 
ඔයාගෙන් ලැබුන ඇස් ඇම් ඇස් ටිකයි කෝල් ටිකයි මට වටිනව.
වෙලාවකට මම ඔයා බැට්රි ලෝ කියල අඬද්දිත් නොසලකා හැරලා තියෙනව,
ඒවාට මං අනන්තවත් සමාව ඉල්ලනව.
ඔයා මාත් එක්ක තරහ නෑ නේ?
සමහර  දවස් වලටක්‍රෙඩිට් ඉවර උනාම කියෝන හැටි...
හැමතිස්සෙම මතක් වෙනව!
ඒත් එහෙම හිටපු ඔයා දැන්...
දැන් ඔයා මගෙන් වෙන් වෙලා යන්න යනව!
ඔයාව පට්ට ගහන්න හදන පාදඩයෙකුට විකුනන්න මට බෑ!
ඒත් එහෙම කියලත් බෑනේ...
මාත් එක්ක තරහ වෙන්න එපා.....!
ඔයාව මං කවදාවත් අමතක කරන්නේ නෑ!!!
මීට,
අවුරුදු එකහමාරක් ඔයාගෙන් කියල නිම කරන්න බැරි තරම් වැඩ ගත්,
මාතරේ.


Oct 18, 2011

අමතක වෙන්නේ නෑ, කරන්න හදන්නෙත් නෑ!




හා හා හරි හාවා කැලේ මැදින් දුවගෙන ආපු හැටි,
දොස්තර හොඳහිත සත්තුන්ට කතා කරපු හැටි,
පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ...
එතකොට අගුටුමිට්ටන්ගේ ලෝකේ තනිවුනු ගලිවර්.

මේ හැම දෙයක්ම හතරවටෙන්ම මූදෙන් කොටුවෙලා ඉන්න අපිට ගෙනත් දුන්නේ මාමා තමයි.
මාමා අපිට ඒවා ටීවී එකේ දැම්මේ නැත්තම් අදටත් අපි ඒවා දන්නේ නෑ!
පොඩි කාලෙ සතියේ දවස්වල හවස පහ මාරට ජාතික රුපවාහිනිය ඉස්සරහ වාඩි උන් නැති පොඩිඑකෙක් ලංකාවටම නැතුව ඇති.
කාටූන් අපිට තේරෙන විදිහට සරල සිංහලෙන් හඬකවන්නත් මාමා අමතක කලේ නෑ.

ඉස්සර කාටූන් කියල ටීවී එකටම තිබ්බේ මාමා හඬකවපු ටික විතරයි වෙන්නැති
දැන්නම් දන්නෙත් නැති කාටූන් වලින් ටීවී එක වැහිවැහල
දැන් අපි ලොකු ළමයි උනාට මොකද තාම අපි කාටූන් වලට ආසයි, මාමා තමා ඒකට වගකියන්න ඕනේ
මොකද මාමා කාටූන් වලින් ඇල්ලුවේ ළමයින්ගේ හිත් විතරක් නෙමේනේ

මාමා දැන් කොහාටහරි වෙලා අපි දිහා බලන් ඉන්නව ඇති
මාමට ලැබෙන උපහාර, ගරුබුහුමන්, ගුණ වර්ණනා
ඔව් මාමා නිර්මාණ කරල හොයාගත්තේ සල්ලි විතරක් නෙමේ
සල්ලි වලට වැඩිය එකතු කරන්න අමාරු දෙයක් මාමා එකතු කරගත්ත
ඒ තමා හොඳහිත, පොඩිඋන්ගේ හොඳහිත, ලොකු අයගේ හොඳහිත
ඒක කවදාවත් සල්ලි වලින් මනින්න පුළුවන් දෙයක් නෙමේ!

සිටින තැනක යහමින් ජිවත් වී යලිත් අප අතරේම උපදිවා කියන එක තමා මාමගේ කාටූන් වලට ආස කරන ලොකු පොඩි සැමගේ ප්‍රාර්ථනය!



මෙන්න මාතරේ කැමතිම ටයි මාමගේ කතන්දර වලින් එකක්! (පිස්සු පූසා)




උපුටාගැනීම්: මේ වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරපු ඉසුරුට ස්තුතියි!
                     http://www.youtube.com/user/isuru5




Related Posts Plugin for WordPress, Blogger...