Oct 17, 2011

මිරිඟුව (1 කොටස)




"ගෑනිගේ පව්කාරකම් නිසයි මිනිහ නැතිවුනේ"

මිනියට ඔලුව තියාගෙන ඉකි ගගහ අඬන දසුනිගෙ සිනිදු කන් පෙති අතර නිතරම රැව්දුන්නේ සමන්ති අක්කගේ සැරපරුෂ වාක්‍යයයි.
 
ඇයි දෙයියනේ දෙයියෝවත් බලන්නැත්තේ මේ ගෑනිගේ දුක?
වැන්දඹු ගෑනියෙක්ට මෙහෙම අපහාස කරන එක හරිද? ගෑනියෙක් මේ වගේ අමාරුවක වැටුනම අහල පහල දන්න කියන අය උදව් කරන්න ඕනේ නේද? මෙව්වා කොහොම වෙතත් බුදු දහමෙත් කියල තියෙනව අනුන් කල අකුසලයක් තවත් අයෙකුට පල දෙන්නෙ නෑ කියල. ගමේ ගොඩේ ගෑනුන්ට මේව්ව කියල දීල වැඩක්යැ? උන් බලන් ඉන්නේ තවත් ගෑනියෙක් කරදරේක වැටුනම පොඩි ඇනුම් පද දෙක තුනක් කියල මුළු චරිතෙම විනාශ කරලා දාන එක. ගම් දනව් ගැන එක එක්කෙනා කොයි තරම් සුන්දර කවි කතන්දර ගෙතුවත් යථාර්ථය ඕකයි.

දසුනි ලහිරු එක්ක විවාහ උනේ මීට මාස හතරකට ඉස්සෙල්ල. දසුනි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරල නිම උනාට පස්සේ ගුරුවෘත්තිය තෝරගත්තේ පොඩි කාලේ ඉඳන්ම ටීචර් කෙනෙක් වෙන්න ආස කරපු නිසා. ඔහොම අවුරුදු දෙකක් යන්නැති. අලුතින් ආපු ගුරුවරුන්ට දෙනවනෙ දුෂ්කර කියල එකක්. ඒ කියන්නෙ තමන්ට හුරු පුරුදු පැත්ත නෙමේ ටිකක් එහාට ඒ කියන්නෙ දුෂ්කර පළාතකට දානවා ඒවායේ පාසල්වල ගුරු හිඟය පුරවන්න. ඉතින් දසුනිට තමන්ගේ උපන්ගම වූ කටුගස්තොට දාල කුරුණෑගල පැත්තේ නමවත් හරියට ප්‍රසිද්ද නැති කනිෂ්ට පාසලකට යන්න වෙච්චි. කොහොමින් කොහොම හරි ඒකත් ඉතින් අමුතුම අත්දැකිමක්නේ කියල හිත හදාගෙන දසුනි ඒ ගමටත් ගියා කියමුකෝ. ඔය අතරවාරේ තමා දසුනිගේ අම්මටයි තාත්තටයි මේකිව බැඳලා දෙන්න රුදාව ආවේ. අම්මටත් වැඩිය තාත්ත තමා මේක ඉක්මන් කරන්න ඕනේ කියල බල කරන්න පටන් ගත්තෙ. මිනිහ නාකි නිසා වෙන්නත් ඇති. තමන්ගේ දුවගේ මංගල්ලේ තමන් ජිවත්ව ඉන්දැද්දී කරගන්න ඉතින් මොන තාත්තද අකමැති? ඊටත් ඕකේ අනිත් පැත්ත වෙනවට මොන තාත්තද කැමති? ආ... මට වැරදුනා! තාත්ත නෙමේ අප්පච්චි. නුවර පැත්තේ උදවිය එහෙමනේ කතාබහ.

කොහොමින් කොහොම හරි අනුරාධපුර ඒත් නම එච්ච‍ර ප්‍රසිද්ද නැති ගම්මානෙක ඉංජිනේරු උපාධිධරයෙක් වූ ලහිරු දසුනිගේ මාමගේ මාර්ගයෙන් අප්පච්චිට මුණගැහෙන්නේ මෙන්න මේ කාලයේදී. දසුනියි ලහිරුයි එකම වයසේ උනාට ලහිරු දසුනිට වැඩිය මාස පහක්ද කොහෙද වැඩිමල්. දසුනි පේරාදෙණියේ යුනිවසිටි ගිය කාලේ ලහිරු ගිහින් තියෙන්නේ මොරටුවට. ඉතින් අනුරාධපුර කොල්ලෙක් උදේ හවහ මොරටු යන්නයැ? කරුමෙට නේවාසිකාගාරත් හම්බ උන් නැති නිසා ලහිරු නැවතිලා තියෙන්නේ ඔය කියන දසුනිගේ මාමලාගේ ගෙදර. ඉතින් ගෙදර කාලයක් තිස්සෙම නැවතිලා හිටපු නිසා මාම ඒ කියන්නෙ දසුනිලගේ අප්පච්චිට ලහිරු ගැන කිව්ව එක්කෙනා ලහිරුව හොඳට අඳුනනවා. ගති ගුණ ගුණ නොහොඳ හැම දෙයක්ම මාම මේ තරම් දන්නෙ ලහිරු ඒ අයගේ ගෙදර අවුරුදු 4 ක්ම නැවතිලා හිටපු නිසා. කැම්පස් ගිය කට්ටියගෙන් නොබීපු අතලොස්සක් හිටියනම් ලහිරු ඒ අයගෙන් එකෙක්. දන්නැද්ද ඉතින් මොරටුව කිව්වොත් බෝතලෙටමනේ?

ඔන්න ඉතින් ඔය ප්‍රවෘත්තියත් එක්කම දසුනිගේ අප්පච්චිගේ එකම බලාපොරොත්තුව උනේ ලහිරුවයි තමන්ගේ දෝණි පොඩිත්තවයි කොහොම හරි එකට ඈඳන එක. ඒ මොකද මෙච්චර රූමත් තරුණියකගේ අත ගන්න පතාගෙන ආපු බොහෝ දෙනෙක්ට අප්පච්චිගේ හිත ගන්න බැරි වීම. නුවර පැත්තේ මගුල් ඔහොමමනේ! දෙමව්පියන්ගේ කැමැත්තට තමා ඔක්කොම.

ආ මට කියන්නත් බැරි උනා!!! දසුනිගේ ලස්සන විස්තර කරලා ඉන්නනෙ තිබ්බේ ඉස්සෙලම. හැබැයි ඉතින් ඕක විස්තර කරලා කියන්න වචන එක්දාස් පන්සීයක රචනාවක් ලිව්වත් බැරිවෙයි. ඉතින් හිතාගත හැකිනේ කොහොමද කියල. සුපිරිම රූපෙ. වැඩි කතා කියන්න ඕනේ නෑ, ඉස්කෝලේ යන කාලේ කොල්ලො හයක් විතර හිටිය. තව ට්‍රයි කරපු උන් කොච්චර ඉන්න ඇද්ද?

ඉතින් ඔන්න අප්පච්චි දසුනිට ලහිරු ගැන හොඳ අතිශ්යෝකිතියෙන් විස්තරයක් එහෙම දීල දසුනි මොනවද හිතන්නේ කියල ඇහුව. තරමක් ආඩම්බරකාර යව්වනියක් උනු දසුනි එක පාරටම කැමති උනේ නෑ! බඳින්න තව කල් තියනවා කියලයි දසුනිගේ අදහස උනේ. ඒත් ඉතින් මේ අප්පච්චියත් එක්ක ඕව බෑ! කිව්වොත් කිව්වමයි. ආයේ කතා දෙකක් නෑ, කර බාගෙන ලිඳට උනත් පනින්න ඕනේ! ඒ ඉතින් ඉස්සර නිලමේ පරම්පරාවෙන් පැවත එන අයගේ ජානගත පුරුද්දක්නේ! මම විතරයි හරි.

කොහොම හරි වැඩි වාදයකින් තොරව දසුනි ලහිරුගේ ඇත ගන්න කැමතියි කියල බලෙන්ම වගේ අප්පච්චි දසුනිගේ කටින්ම කියෝගත්ත. ඔන්න ඉතින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල උඩරට විදිහට ඔසරියයි නිලමේ ඇඳුමයි දාල මංගල්ලේ චාම් විදිහට ගත්ත. නෑදෑයෝ ඔක්කොටම එන්න කියල නුවරදි තමයි මංගල්ලේ ගත්තේ!

මතුසම්බන්ධයි   

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...