Nov 7, 2011

මාතරේ රන්ටැඹේ කැම්ප් ගිය වගයි!



ඒ 2009 අවුරුද්දය. වසරේ මැද හරියය. ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණියට අයිති පාසලක්‌ වශයෙන් සියලුම තෝරාගන්නා අදියරවල් පසුකර අපි ජූලි මාසයේ යෙදෙන වාර්ෂික බලඇණි ඇගයීම කඳවුර හෙවත් බැටෑලියන් කඳවුරට තේරී තිබුනෙමු. ඒ පුහුණුවීම් කෙරූ කාලයද ඉතා සුන්දරය. එහෙත් මම ඔබව කෙලින්ම  ගෙනියන්නේ රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට කඳවුරට වෙතටය.

කඳවුර  වෙත අප ගෙනයාමට ශිෂ්‍ය භට මුලස්ථානය මගින් උදේ හතට පමණ විශේෂ බස් රථයක අප පාසලට එවා තිබිණි. මාගේ මතකයේ හැටියට කඳවුරට ගෙනයාමට අපිට ගෙනෙන්නට කි දේ වලින් කීපයක් මෙසේය,
  1. පාසැල් නිල ඇඳුම් 2
  2. කැන්වස් සපත්තු කුට්ටමයි
  3. ටුත් පේස්ට් ටුත් බ්‍රෂ්
  4. සුදු ඇඳ රෙදි හා නිල් තුවාය (ඒ පාට වලින්ම ඕනේ කිව්ව)
  5. හැට්ට කටු (මොකට ගෙනිච්චද මන්ද? එක දවසකවත් ඕනේ උන් නෑ)
  6. බ්ලෙසර් එකයි ටයි එකයි
  7. එයාර් ෆ්‍රෙෂ්නර් [සතියක් ගඳ නොගැසීම සඳහා (පර්ෆියුම් ගේන්න එපා කිව්ව)]
  8. සෙලෝටේප් (ඒකත් මෙලෝ වැඩකට නෑ)
  9. ජොක්කු
  10. පටිජෝකා (ඉංග්‍රීසියෙන් සපොර්ටර්)
  11. බිස්කට් සහ බිම බෝතල්? (අපි ඒ කාලයේ ප්ලැටුන් එකේ සිටි පොඩිම උන් වෙච්චි)
කලින් සඳහන් කර තිබු බඩු ගෙනයාම සඳහා ට්‍රන්ක පෙට්ටි අපි සතියකට පමණ පෙර පාට කර තිබ්බෙමු.

බස් රාජයා වැඩම කල බව දැනගත් පසු අපි වීරයන් මෙන් සතියක දිගු නිවාඩුවක් සඳහා රන්ටැඹේ සඳහා පිටත්වී ගියෙමු. ගමන ඉතා දීර්ඝ එකක් විය. වරක් තේ බිම සඳහා බසය නවත්තන විට වෙලාව ගිනිමද්දහනට කිට්ටු බව දැඩි හිරු රශ්මියෙන් පසක් විය. එහෙත් තව පැය දෙකක්වත් යායුතු බව මොකෙක්දෝ මුසලයෙක් කියනු මට ඇසින.

අපි රන්ටැඹේ වෙත ලඟා වද්දී පස්වරු දෙක පමණ වී තිබිණි. රන්ටැඹේ පිවිසුම් දොරටුව ලඟට ලං වත්ම අපේ එකෙක්ට වමනය පිටවිණි. කෙසේ හෝ රන්ටැඹේ ජලාශය මැදින් වූ පාර දිගේ බස් රථය ඉදිරියට ඇදෙන විට අපිට අමුතුම හැඟීමක් දැනෙන්නට විය.

බස් රථය අපිව කඳවුර ඇතුලේ බස්සවා ට්‍රන්ක පෙට්ටි බිමට බාගත් පසු නික්ම ගියේය. දැන් සිටින්නේ අප විසිපස් දෙනා සහ ඛණ්ඩ භාර නිලධාරියා පමණි. ඉන්පසු එළඹියේ ට්‍රන්ක පෙට්ටි පරික්ෂා කර බලන වේලාවයි. සියලුම ළමුන්ට තම ට්‍රන්ක පෙට්ටිය විවෘත කර එය ඉදිරියේ සිට ගැනීමට අණ ලැබිණි. මොහොතකින් පරික්ෂා කර බලන නිලධාරින් විසින් අප පිළිවෙලට අසුරාගෙන ආ බඩු මුට්ටු සියල්ල කණපිට හරවමින් ඇවිස්සුවේ අප ඒවා තුල බෝම්බ හෝ මත්කුඩු සඟවාගෙන සිටින්නාක් මෙනි.

ඉන්පසු අපිට භට නිවාසයක් ලැබිණි. එදා හවසම ටී පාටියක් කියා අපිව මෙස් හෝල්(භෝජනාගාරය) එකට යැවූ පෝරියල් එක තාම මතක ඇත.... ඇත්තටම ටී පාටි කියන්නේ අප ඛණ්ඩයට තේ බිම සඳහා සිගු පෝලිමක හිඳ බාල්දියකට තේ රැගෙන ඒමය.... එයට මොකා ඒ නම තැබුවා දැයි නොදනිමි!

ඊළඟ දිනයේ තිබුනේ සරඹ සඳහා පුහුණු වීම්ය. ඒවත් ඉතා මනරම්ය... තුවක්කු ගෙන සීරුවෙන් සිටීමට නොහැකි වූ සමහරු සිහි නැතිවී ඇද වැටුනෝය.. අපගේ පුහුණු වීම් භාරව සිටි ප්‍රධානියාගේ හඬ දැනුදු මතක ඇත...

"මම තමයි රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකායේ XO!!! ඒ කිව්වේ අණ දෙන නිළධාරී... තේරුනාද?.... ඔව් නං ඔව් කියනවා නැත්තන් නෑ කියනවා... ඔය ඔලුව වැනිලි බෑ මෙහෙ.. හා.... හොඳයි.. මාත් එක්ක සෙල්ලම් බෑ කොල්ලනේ... මම මේ ග්‍රවුන්ඩ් එකේ ඔය වගේ බලඇණි සීයක් විතර කොමාන්ඩ් කරලා තියෙනව, උඹල මට මහ ලොකු දෙයක් නෙමේ... මම හොඳ එවුන්ට හොඳටම හොඳයි, හැබැයි නරක එවුන්ට අන්තෙටම නරකයි... තේරුනාද? තේරුනාද?.... හා හරි. එහෙනං අපි පටන් ගමු..."

හැබැයි වැඩි වෙලාවක් යන්න මත්තෙන් එක එකා වරද්දන්නටද පිස්සු නටන්නටද විය...

"ඕ.....යි! මොකද ඔය තුවක්කුව අරන් යන හැටි නිකන් අලියගේ පස් වෙනි කකුල වගේ.... උස්සන් යනවකෝ ඕක පිරිමි වගේ... මොකද අමාරුද දෙකට නැමිලා ඉන්නේ? දෙන්නද ඕකට හොඳ බේතක් ආයේ ජීවිතේටම දෙකට නොනැමෙන්න?..... මේක හරියන්නෑ වගේ... යනව ඔක්කොමල යටට... ඩිප් පොසිෂන්!... හරි මගෙ කොමාන්ඩ් එකට ඩිප්ස් ගහන්න ඕනේ තේරුනාද?.... හරි එකා....යි! හා... ඔහොම යට ඉන්නව මම නැගිටින්න කිව්වේ නෑ.. හරි අ...ප්, දෙකා....යි! යටට යනවල. ඔහොම ඉන්නව ඔහොම ඉන්නව... රායිට් අ...ප් ආයේ යනව තුනා....යි! මොකද මේ වදන රුදාවද? හ්ම්ම්.. හ්ම්ම්.. ගාන්නේ බඩදරු අම්මල වගේ? යනව යනව යටට යනව........! මේක හරියන්නෑ ගන්නව ඔක්කොමල තුවක්කු උස්සගනවල... ඔහොම උස්සගෙන දුවනවල රවුම් පහක් ග්‍රවුන්ඩ් එක වටේ!"

වදන රුදාව ඇති බඩදරු අම්මලා කිහිප දෙනෙක් නිසා අපටද ග්‍රවුන්ඩ් එක වටා දිවීමට සහභාගී වන්නට විය.

එහෙත් එහි ගෙවුණු ජීවිතය වචනයෙන් විස්තර කිරීමට අපහසුය. එහිදී අප උගත් දේ බොහෝය. එය වඩාත් විශේෂ වන්නේ අවට ලෝකය ගැන කිසිම දැනුමක් එහි ගත කෙරු කාලය තුල අපට නොලැබීමයි... කාලීන තොරතුරු කිසි දෙයක් එහිදී වැදගත් වුයේ නැත... කෙටියෙන්ම කියතොත් මයිකල් ජැක්සන් මැරුණා යයි අප දැනගත්තේ අප එයින් ආ පසුවය (කඳවුරේ ගතකල තෙවැනි රැය වනවිට ඔහු මියගොස් තිබිණි)...

කෙසේ නමුත් මාගේ ජිවිතයේ ගත කෙරූ දවස් වලින් මේ කඳවුරේ ගත කල දවස් හත කිසිදා අමතක නොවන සුන්දරම දවස් කිහිපයක් වන්නේය...!

2 comments:

  1. මට මගේ අතීතෙ මතක් වුනා කොලුවො..

    මමත් මේ කැඩෙට් ගැන එකක් ඇදලා අරින්නයි යන්නෙ..
    සර්ච් පාරක් දෙද්දි තමයි මේක සෙට් වුනේ. ලින්ක් එකකුත් දෙන්නම්කො.

    2වැනි බල ඇනිය කොහෙද බං ? පොත අරන් බලන්න කම්මැලියි..

    "හැට්ට කටු (මොකට ගෙනිච්චද මන්ද? එක දවසකවත් ඕනේ උන් නෑ)" යි බොල උබේ කලිසමේ බොත්තමක් සිප් එකක් කැඩුනනම් ගහන්නෙ අහවල් එකද?

    ටී පාටි කියන්නේ කියන්නෙ තේ හදන් වුන්ට බං තේ බොන එකට නෙමෙයි.

    XO?? මොකාද බොල ඒ...

    "ලෝකය ගැන කිසිම දැනුමක් එහි ගත කෙරු කාලය තුල අපට නොලැබීමයි..." මේක නම් ඇත්ත දිනයක් වෙලාවක් මෙලෝ මඟුලක් දන්නෙ නෑ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ඔන්න අයියේ උත්තර ටික..

      2 වැනි බලඇණිය කියන්නෙ ඔය නුවර පැත්තනේ..

      කලිසම්වල කැඩිච්ච තැන් වලට හැට්ටකටු ගැහුවනං එකක්.. ඒත් අපේ උන් මහන්නම කිව්වනේ.. ඒ හන්ද හැට්ටකටු පාවිච්චි උනේ නෑ..

      අපේ කාලේ ටී පාටි කිව්වේ හදපු තේ බිලට් එකට අරං එන උන්ට..

      XO - Executive Officer

      රන්ටඹේ රහ දන්න එක්කෙනෙක් බ්ලොගියට ගොඩ වැඩිම ගැන සතුටුයි..! :) :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...