ටික කාලෙකට උඩදි මට මගේම පරණ ඩයරියක් හම්බුනා... 2012 ජනවාරි ඉඳන් පිළිවෙලකට ලියාගෙන ඇවිත් තියෙන ඩයරිය මොකක්හෝ හේතුවකට අවුරුද්ද මැදදි ලියන එක නවත්තල.... ඕනෑවට එපාවට ඒකෙ පිටු පෙරලගෙන ගිය මට රතු පෑනකින් කුරුටු ගෑවුණු කවිපේලි දෙකක් අහම්බෙන් වගේ ඇස ගැටුන.. මේ කවිපේලි දෙක තමයි පල්ලෙහා තියෙන පලවෙනි කවියෙ පලවෙනි පේලියත් දෙවෙනි කවියෙ අන්තිම පේළියත්...
මේක මං ලිව්වේ මං ගිය පාසැල් බස් රථයේ අන්තිමට කලින් සීට් එකේ පල්ලෙහා... මාත් එක්ක ඒ බස් එකේ ගිය කෙනෙක් ගැනයි මේක... දැන් අපි මේ ඉස්කෝලෙන් ඇවිත් ගොඩක් කල් වෙනව.. ඒත් මේ බස්රිය ඉස්සර අපිට තිබුණු සුන්දර බලාපොරොත්තු සහ බොළඳ ආශාවන් තියෙන මල්ලිලා නංගිලා ඔවුන්ගෙ නැවතුම් පොළවල් වලට තවම ගෙනියනවා... කිසිදා අමතක නොවෙන පාසැල් ආදරය ගැනයි මේ..
මිනිත්තිතු පහකට සිටියත් මගෙ ළඟ
ඇති එය දවසක් පුරවන්න
වාත්තු කල සුදු ලස්සන මූණක්
යාන්තමට මට දැකගන්න
සාක්කු අස්සේ මුරුක්කු පුරවන්
යෙහෙළියො අතරින් මතුවෙන්න
මාර්තු වැස්සට තෙමෙන්න නරකයි
කුමරියෙ හනිකට ගොඩවෙන්න
රසයෙන් වැඩි මුත් අරුතක් නැති
කච කචෙන් මගේ කන් පුරවන්න
කසයෙන් හද තලනා වැනි රිදුමක්
නෙත් යාවෙන කල ගෙන දෙන්න
දවසින් දවසට හිත යට පීදෙන
ආදර හැඟුමන් වැඩිවෙන්න
බසයෙන් බැසයන විට පෑ මදහස
හෙටදින නැවතත් මට දෙන්න
~මාතරේ.