Nov 10, 2011

තවත් එක් බූට් කවියක්...!






කවියක් වී මම ඉන්නම් ඔබගේ තොල් අග මිමිණෙන
සුවඳක් වී මම ඉන්නම් ඔබ ළඟ නිතරම දැවටෙන
පැතුවේ මා මේ ලෙස අත් නොහරින්නට ඔබ කිසිදෙන
කිමදෝ ඔබ කෙරුවේ මා කඳුලක් නෙතගින් ගිලිහෙන?

Nov 9, 2011

ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවෙන කතා...!


අවුරුදු හතරෙන් හතරට පවත්වන ඔලිම්පික් තරඟයට ලොව පුරාම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන්නේ හද පුරා බලාපොරොත්තු පොදි බැඳගෙන. එසේ එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් ලොවටම අමතක නොවන, හදවත සලිත කරවන සිද්ධිනුත් සිදු නොවුනාම නොවේ. මේ එම හදවතට වදින ඔලිම්පික් ඉතිහාසයේ සිදුවීම් කීපයක්.

ජැමයිකානු බොබ්ස්ලෙඩ් (Bobsled) කණ්ඩායම. [1998-කැනඩාව]

බොබ්ස්ලෙඩ් යනු හිම මත ලිස්සා යන රථයකින් හිම තරණය කිරීමයි. 1998 වසරේ ඔලිම්පික් බොබ්ස්ලෙඩ් තරඟය ජයග්‍රහණය කලේ ජැමයිකවයි. මෙහි විශේෂත්වය වන්නේ ජැමයිකාව මුළු අවුරුද්ද පුරාටම දැඩි හිරු රශ්මියෙන් සමන්විත වෙරළබඩ සංස්කෘතියට බර රටක් වීමයි. එක් දිනයකවත් හිමපතනය නොලබන ජැමයිකාව 1998 වසරේ ඔලිම්පික් උළෙලේදී ස්විට්සර්ලන්තය, නෝර්වේ වැනි හිමපතනය අධික රටවල් අරඹයා රන් පදක්කම දිනා ගැනීම කාගේත් පුදුමයට හේතු උනා.
 
**********************************************************************************

උතුරු හා දකුණු කොරියානු ක්‍රීඩකයන් [2000-සිඩ්නි]

සිතල යුද්ධය නිසා උතුරු කොරියාව හා දකුණු කොරියාව යන රටවල් හිටියේ බොහොම වෛරයෙන් බව අප සැම හොඳින් දන්නා කරුණක්. එහෙත් සිඩ්නිහි පැවැත්වූ 2000 වසරේ නැත්නම් සහශ්‍රවර්ෂ තරඟයේදී දේශපාලනය ක්‍රීඩාව තුලට අතපෙවීම වැලක්වීමට මෙම ක්‍රීඩකයන්ට හැකිවුනා. ඒ එම ඔලිම්පික් උළෙල විවෘත කිරීමේ උත්සවය දවසේ උතුරු කොරියානු සහ දකුණු කොරියානු ක්‍රීඩකයෝ එකම කොඩියක් යටින් එකම රටක් ලෙස ගමන් කිරීම මගින්. මේ අවස්ථාව මගින් මුළු ලෝකයටම පාඩමක් ඉගැන්වීමට කොරියානු ක්‍රීඩකයන් සමත් උනා. ඉන්පසු එදා සිට අද වනතුරු උතුරු හා දකුණු කොරියාව ඔලිම්පික් තරඟවලදී එකම රටක් නියෝජනය කරන්නට වුනා.

 


**********************************************************************************

ලෝව්රන්ස් ලෙරියුක්ස් [1988-දකුණු කොරියාව]

මේ කතාව ගොඩක් දෙනෙක් දන්නැති කතාවක්. ලෝව්රන්ස් ලෙරියුක්ස් 1988 වසරේ කැනඩාව නියෝජනය කරමින් දකුණු කොරියාවට ආවේ ඔරු පැදවීමේ තරඟයට සහභාගී වීමට. ඔහු සහජයෙන්ම  දක්ෂ ඔරු පදින්නෙක් උනා. මේ අවස්ථාව වනවිට ඔහු සහ ඔහුගේ සහයකයා ඔරු පැදීමේ අවසන් තරඟයේ දෙවන ස්ථානයේ පසුවුණා. තරඟය අවසන් කිරීමට ඔවුන්ට ඇත්තේ තව විනාඩි දහයකත් වඩා අඩු දුරක්. එහෙත් හදිසියේම දුටු දෙයකින් ලෙරියුක්ස්ගේ හිත කම්පා උනා. ඔහු දුටුවා සිංගප්පුරු කණ්ඩායමේ තරඟකරුවන් දෙදෙනා ඔරුවෙන් පෙරලී ගොස් ඇති බව. ලෝව්රන්ස් ලෙරියුක්ස් වහාම තරඟය ගැන අමතක කොට අර තරඟ කරුවන් දෙදෙනා බේරාගැනීමට ගියා. ඔවුන් අර දෙදෙනාවත් තම ඔරුවට දමාගෙන තරඟය අවසන් කරන විට ඔවුන් පසුවූයේ අවසන් ස්ථානයේ. නමුත් තරඟ සංවිධායකයෝ සහ ඔලිම්පික් කමිටුව සාකච්ඡා කොට ලෝව්රන්ස් ලෙරියුක්ස් ගේ කැනඩියානු කණ්ඩායමටඔවුන් තරඟයේදී දක්වපු මානුෂිය වික්‍රමයට ගෞරව කොට රිදී පදක්කම පිරිනැමුවා.



**********************************************************************************


ෆෝස්බෙරි පිම්ම [1968-මෙක්සිකෝව]

උස පැනල තියෙන කට්ටියටනම් විශේෂ දෙයක් නෙමේ. ඇරත් අපි මේක ගැන හත අට වසරවල සෞඛ්‍ය පොත්වලත් කියවල තියෙනව. මේ පිම්ම යොදාගන්නේ උස පනිනකොට. උස පනිනකොට යොදාගන්නා ක්‍රමය මේකයි කිව්වොත් නිවැරදියි. හැබැයි මේකේ ඉතිහාසයනම් ඉතා විශේෂයි. මොකද 1968 ට ඉස්සෙල්ල උස පැනපු අය හැමෝම වාගේ යොදාගත්තේ කෙලින් අතට පනින පිම්මයි. හැබැයි 1968 දී මෙක්සිකෝහි පැවති ඔලිම්පික් උළෙලත් එක්ක තමයි මේක මේ ක්‍රමේ වෙනස් වන්නේ. 1968 උසපැනීම අවසන් තරඟය, තරඟකරුවන් තුන්දෙනයි,,,, ඇමෙරිකාවෙන් දෙන්නයි සයිබිරියාවෙන් එක්කෙනයි... පළමු පිම්ම, ඩික් ෆෝස්බෙරි දුවගෙන විත් පැන්නේ අනිත් පැත්තට, බලා සිටියවුන් මවිත කරමින් උත්සාහය සාර්ථකයි!.... දෙවෙනි පිම්ම සයිබීරියාවේ තරඟකරු, පැන්නේ කෙලින් අතට. පිම්ම අසාර්ථකයි!... තුන්වෙනි පිම්ම ඇමෙරිකාවේ අනෙක් තරඟකරු, පැන්නේ කෙලින් අතට එහෙත් උත්සාහය සාර්ථකයි!

දැන් පැමිණෙන්නේ අවසන් අදියර එනම් රන් පදක්කම හිමි වන වටය. තරඟයට තේරී ඇත්තේ ඩික් ෆෝස්බෙරි සහ ඇමෙරිකාවේ අනෙක් තරඟකරු... පළමු උත්සාහය ඇමෙරිකාවේ අනෙක් තරඟකරු, සුපුරුදු පරිදි පැන්නේ කෙලින් අතට... උත්සාහය අසාර්ථකයි!!! දැන් එන්නේ ඩික් ෆෝස්බෙරිගේ උත්සාහයයි, කලින් පරිදි දුවගෙන විත් ෆෝස්බෙරි පිම්ම ලොවට හඳුන්වාදෙමින් අනෙක් අතට පනියි!!!! උත්සාහය සාර්ථකයි!!!!

**********************************************************************************

තාත්තගෙයි පුතාගෙයි කතාව [1992-බාසිලෝනා]

ඒ මීටර් 400 පිරිමි අවසන් තරඟයයි. ඩෙරක් රෙඩ්මොන්ඩ් යනු බ්‍රිතාන්‍ය තම බලාපොරොත්තු පොදි බැඳ තිබූ ක්‍රීඩකයා විය. ඒ ඔහු තුන් පාරක් රන් පදක්කමද එක් පාරක් රිදී පදක්කමද බ්‍රිතාන්‍යට හිමි කර දීම නිසාය. එහෙත් මේ අවස්ථාව වනවිට ඔහු කකුලේ මස්පිඩුවක ආබාධයට ලක්ව තිබිණි. එහෙත් තමන්ගේ එම අමාරුව නොතකා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඩෙරෙක් අදිටන් කරගත්තේය. නමුත් අවසනාවක මහත!! තරඟය මැදදී (මීටර් 150) ඩෙරෙක් ධාවන පථය මැද ඇද වැටෙයි... ඒ ඔහුගේ කකුලේ වූ, අබාධය උත්සන්න වීම හේතුවෙන්... ප්‍රථමාධාර දීමට සංවිධායකයෝ ධාවන පථය මැදට දිව ආවත් ඩෙරෙක් තම අබාධය ගණන් නොගෙන නොන්ඩි ගසමින් ඉදිරියට යයි...

මේ අවස්ථාවේදී එක් මිනිසෙක් ප්‍රේක්ෂකාගාරය රැක උන් ආරක්ෂක නිලධාරීන් ගෙන් මිදී ඩෙරෙක් වෙත දුව එයි... සංවිධායකයෝ කෙතරම් උත්සහ කලද මේ මහලු මිනිසා වැලක්වීමට ඔවුන් අපොහොසත් වෙයි!! තරඟයේ ඉතිරි මීටර් කිහිපයම මේ මහලු මිනිසා ඩෙරෙක්ව වාරු කරගෙන පැමිණ අවසන් රේඛාවට මීටර් කිහිපයක් තිබියදී ඔහුව නිදහස් කරයි.... නොන්ඩි ගසා පැමිණ ඩෙරෙක් ජය කණුව වෙත ළඟාවන්නේ ප්‍රේක්ෂකාගාරයේ අන් සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි...

එසේ රැකවල් බිඳ ඩෙරෙක්ව ජය කණුව වෙත වාරු කරගෙන පැමිණෙන්නේ ඩෙරෙක්ගේ පියා බව පසුව අනාවරණය වෙයි!!!



 
**********************************************************************************

නොම්බර 67, මීටර් 10,000 පිරිමි [1964-ජපානය]

මීටර් 10,000 පිරිමි මැරතන් අවසන් තරඟයයි... සහභාගී වන ක්‍රීඩකයන් ගණන 80යි... ඔව්.... මේ දැන් තරඟය ඇරඹුනා...ක්‍රීඩකයන් තරඟය අවසන් කිරීමට මීටර් 300ක් වන මේ ධාවන පථයේ වට 25ක් දිවිය යුතුයි... ඉදිරියෙන්ම දුවන්නේ නොම්බර 85 දරන ක්‍රීඩකයායි... ඔහුව පසු කිරීමට පිටුපසින් ඉතිරි 79 දෙනාම ලුහුබඳිනවා... දැන් අපට පෙනෙනවා මේ තරඟකරුවන් ක්‍රීඩකයෙක්ව වටයකින් පසු කරන අන්දම.... ඔව් තරඟය අවසන් වීමට තව ඇත්තේ එක  වටයයි.... ඔව්.. මේ අවස්ථාවේදී අපට පෙනෙනවා ඉතියෝපියාවේ ක්‍රීඩකයා තරඟය ජයගන්නා අන්දම... ඊට පිටුපසින් දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් බ්‍රිතාන්‍යට හා ජපානයට හිමිවනවා.... තරඟය අවසන් කිරීමට නොහැකි වේ යැයි සිතන ක්‍රීඩකයන් ධාවන පථයෙන් ඉවත්වෙන අන්දම අපට දැක බලාගත හැකියි!!!!...... ඔව් මේ ජය කණුව දැන් පසු කරන්නේ නොම්බර 67 දරන ක්‍රීඩකයායි...! ඔහු තරඟය අවසන් කළා යැයි වරදවා හිතන්න එපා!!! ඔහු තරඟය අවසන් කිරීමට තව එක වටයක් දිවිය යුතු වනවා.... මේ වනවිට අන් සෑම තරඟකරුවෙකුම පාහේ තරඟය අවසන් කර හෝ තරඟයෙන් ඉවත්වී තිබෙනවා....

ඒත් මේ නොම්බර 67 ක්‍රීඩකයා තරඟය අත් නොහරින ගානයි.... ඔව්.... ප්‍රේක්ෂකාගාරය නැගිට නොම්බර 67 දිරිමත් කරනු අපට මේ අවස්ථාවේදී පෙනී යනවා... ඔවුන් කුමක් කියාද මේ කෑ ගසන්නේ?...... කමෝන් සිලෝන් කමෝන් සිලෝන්??? ඔව් මේ ශ්‍රීලංකාව නියෝජනය කරමින් පැමිණි රණතුංග කරුණානන්ද බව අපට සුළු වෙලාවකට පෙර වාර්තා වුනා..... ඔව් මේ අවස්ථාව වන විට ඔහු තම අමතර වටය නිමාකොට අවසන් ස්ථානය හිමිකරගෙන, එහෙත් ජයග්‍රාහීව ක්‍රීඩකයන්ගේ කුටිය වෙත පැමිණෙන අන්දම අපට දිස්වෙනවා....!   
කරුණානන්දගේ දිවීම බැලීමට කරුණාකර වීඩියෝවේ 06.30 වෙනි මිනිත්තුවට වෙත යන්න 





වීඩියෝ: http://www.youtube.com


Nov 7, 2011

මාතරේ රන්ටැඹේ කැම්ප් ගිය වගයි!



ඒ 2009 අවුරුද්දය. වසරේ මැද හරියය. ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණියට අයිති පාසලක්‌ වශයෙන් සියලුම තෝරාගන්නා අදියරවල් පසුකර අපි ජූලි මාසයේ යෙදෙන වාර්ෂික බලඇණි ඇගයීම කඳවුර හෙවත් බැටෑලියන් කඳවුරට තේරී තිබුනෙමු. ඒ පුහුණුවීම් කෙරූ කාලයද ඉතා සුන්දරය. එහෙත් මම ඔබව කෙලින්ම  ගෙනියන්නේ රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට කඳවුරට වෙතටය.

කඳවුර  වෙත අප ගෙනයාමට ශිෂ්‍ය භට මුලස්ථානය මගින් උදේ හතට පමණ විශේෂ බස් රථයක අප පාසලට එවා තිබිණි. මාගේ මතකයේ හැටියට කඳවුරට ගෙනයාමට අපිට ගෙනෙන්නට කි දේ වලින් කීපයක් මෙසේය,
  1. පාසැල් නිල ඇඳුම් 2
  2. කැන්වස් සපත්තු කුට්ටමයි
  3. ටුත් පේස්ට් ටුත් බ්‍රෂ්
  4. සුදු ඇඳ රෙදි හා නිල් තුවාය (ඒ පාට වලින්ම ඕනේ කිව්ව)
  5. හැට්ට කටු (මොකට ගෙනිච්චද මන්ද? එක දවසකවත් ඕනේ උන් නෑ)
  6. බ්ලෙසර් එකයි ටයි එකයි
  7. එයාර් ෆ්‍රෙෂ්නර් [සතියක් ගඳ නොගැසීම සඳහා (පර්ෆියුම් ගේන්න එපා කිව්ව)]
  8. සෙලෝටේප් (ඒකත් මෙලෝ වැඩකට නෑ)
  9. ජොක්කු
  10. පටිජෝකා (ඉංග්‍රීසියෙන් සපොර්ටර්)
  11. බිස්කට් සහ බිම බෝතල්? (අපි ඒ කාලයේ ප්ලැටුන් එකේ සිටි පොඩිම උන් වෙච්චි)
කලින් සඳහන් කර තිබු බඩු ගෙනයාම සඳහා ට්‍රන්ක පෙට්ටි අපි සතියකට පමණ පෙර පාට කර තිබ්බෙමු.

බස් රාජයා වැඩම කල බව දැනගත් පසු අපි වීරයන් මෙන් සතියක දිගු නිවාඩුවක් සඳහා රන්ටැඹේ සඳහා පිටත්වී ගියෙමු. ගමන ඉතා දීර්ඝ එකක් විය. වරක් තේ බිම සඳහා බසය නවත්තන විට වෙලාව ගිනිමද්දහනට කිට්ටු බව දැඩි හිරු රශ්මියෙන් පසක් විය. එහෙත් තව පැය දෙකක්වත් යායුතු බව මොකෙක්දෝ මුසලයෙක් කියනු මට ඇසින.

අපි රන්ටැඹේ වෙත ලඟා වද්දී පස්වරු දෙක පමණ වී තිබිණි. රන්ටැඹේ පිවිසුම් දොරටුව ලඟට ලං වත්ම අපේ එකෙක්ට වමනය පිටවිණි. කෙසේ හෝ රන්ටැඹේ ජලාශය මැදින් වූ පාර දිගේ බස් රථය ඉදිරියට ඇදෙන විට අපිට අමුතුම හැඟීමක් දැනෙන්නට විය.

බස් රථය අපිව කඳවුර ඇතුලේ බස්සවා ට්‍රන්ක පෙට්ටි බිමට බාගත් පසු නික්ම ගියේය. දැන් සිටින්නේ අප විසිපස් දෙනා සහ ඛණ්ඩ භාර නිලධාරියා පමණි. ඉන්පසු එළඹියේ ට්‍රන්ක පෙට්ටි පරික්ෂා කර බලන වේලාවයි. සියලුම ළමුන්ට තම ට්‍රන්ක පෙට්ටිය විවෘත කර එය ඉදිරියේ සිට ගැනීමට අණ ලැබිණි. මොහොතකින් පරික්ෂා කර බලන නිලධාරින් විසින් අප පිළිවෙලට අසුරාගෙන ආ බඩු මුට්ටු සියල්ල කණපිට හරවමින් ඇවිස්සුවේ අප ඒවා තුල බෝම්බ හෝ මත්කුඩු සඟවාගෙන සිටින්නාක් මෙනි.

ඉන්පසු අපිට භට නිවාසයක් ලැබිණි. එදා හවසම ටී පාටියක් කියා අපිව මෙස් හෝල්(භෝජනාගාරය) එකට යැවූ පෝරියල් එක තාම මතක ඇත.... ඇත්තටම ටී පාටි කියන්නේ අප ඛණ්ඩයට තේ බිම සඳහා සිගු පෝලිමක හිඳ බාල්දියකට තේ රැගෙන ඒමය.... එයට මොකා ඒ නම තැබුවා දැයි නොදනිමි!

ඊළඟ දිනයේ තිබුනේ සරඹ සඳහා පුහුණු වීම්ය. ඒවත් ඉතා මනරම්ය... තුවක්කු ගෙන සීරුවෙන් සිටීමට නොහැකි වූ සමහරු සිහි නැතිවී ඇද වැටුනෝය.. අපගේ පුහුණු වීම් භාරව සිටි ප්‍රධානියාගේ හඬ දැනුදු මතක ඇත...

"මම තමයි රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකායේ XO!!! ඒ කිව්වේ අණ දෙන නිළධාරී... තේරුනාද?.... ඔව් නං ඔව් කියනවා නැත්තන් නෑ කියනවා... ඔය ඔලුව වැනිලි බෑ මෙහෙ.. හා.... හොඳයි.. මාත් එක්ක සෙල්ලම් බෑ කොල්ලනේ... මම මේ ග්‍රවුන්ඩ් එකේ ඔය වගේ බලඇණි සීයක් විතර කොමාන්ඩ් කරලා තියෙනව, උඹල මට මහ ලොකු දෙයක් නෙමේ... මම හොඳ එවුන්ට හොඳටම හොඳයි, හැබැයි නරක එවුන්ට අන්තෙටම නරකයි... තේරුනාද? තේරුනාද?.... හා හරි. එහෙනං අපි පටන් ගමු..."

හැබැයි වැඩි වෙලාවක් යන්න මත්තෙන් එක එකා වරද්දන්නටද පිස්සු නටන්නටද විය...

"ඕ.....යි! මොකද ඔය තුවක්කුව අරන් යන හැටි නිකන් අලියගේ පස් වෙනි කකුල වගේ.... උස්සන් යනවකෝ ඕක පිරිමි වගේ... මොකද අමාරුද දෙකට නැමිලා ඉන්නේ? දෙන්නද ඕකට හොඳ බේතක් ආයේ ජීවිතේටම දෙකට නොනැමෙන්න?..... මේක හරියන්නෑ වගේ... යනව ඔක්කොමල යටට... ඩිප් පොසිෂන්!... හරි මගෙ කොමාන්ඩ් එකට ඩිප්ස් ගහන්න ඕනේ තේරුනාද?.... හරි එකා....යි! හා... ඔහොම යට ඉන්නව මම නැගිටින්න කිව්වේ නෑ.. හරි අ...ප්, දෙකා....යි! යටට යනවල. ඔහොම ඉන්නව ඔහොම ඉන්නව... රායිට් අ...ප් ආයේ යනව තුනා....යි! මොකද මේ වදන රුදාවද? හ්ම්ම්.. හ්ම්ම්.. ගාන්නේ බඩදරු අම්මල වගේ? යනව යනව යටට යනව........! මේක හරියන්නෑ ගන්නව ඔක්කොමල තුවක්කු උස්සගනවල... ඔහොම උස්සගෙන දුවනවල රවුම් පහක් ග්‍රවුන්ඩ් එක වටේ!"

වදන රුදාව ඇති බඩදරු අම්මලා කිහිප දෙනෙක් නිසා අපටද ග්‍රවුන්ඩ් එක වටා දිවීමට සහභාගී වන්නට විය.

එහෙත් එහි ගෙවුණු ජීවිතය වචනයෙන් විස්තර කිරීමට අපහසුය. එහිදී අප උගත් දේ බොහෝය. එය වඩාත් විශේෂ වන්නේ අවට ලෝකය ගැන කිසිම දැනුමක් එහි ගත කෙරු කාලය තුල අපට නොලැබීමයි... කාලීන තොරතුරු කිසි දෙයක් එහිදී වැදගත් වුයේ නැත... කෙටියෙන්ම කියතොත් මයිකල් ජැක්සන් මැරුණා යයි අප දැනගත්තේ අප එයින් ආ පසුවය (කඳවුරේ ගතකල තෙවැනි රැය වනවිට ඔහු මියගොස් තිබිණි)...

කෙසේ නමුත් මාගේ ජිවිතයේ ගත කෙරූ දවස් වලින් මේ කඳවුරේ ගත කල දවස් හත කිසිදා අමතක නොවන සුන්දරම දවස් කිහිපයක් වන්නේය...!
Related Posts Plugin for WordPress, Blogger...