Oct 27, 2011

මාතරේ හිල්වුඩ් යයි


උදේ පාන්දර පහ මාරට බෙල් එකකට නැගිටින්න හිත දෙන්නේ කාටද? ඊයා... බොර්ඩිමේ අපිටනම් ඕක හුරුපුරුදු දෙයක් උනාට හැමදාම දවස පටන් ගන්නේ බෙල් එක ගහපු එකා ජාතක වෙච්ච හැටි මතක කර කර. ඔන්න ඉතිං මම කියන්න යන දවසත් පටන් ගත්තේ එහෙමයි. නැගිට්ට ගමන් තේ එක බොන්න දුවන්න හිතාගෙන ඇඳෙන් බිමට අඩිය තිබ්බ විතරයි ඊයේ රෑ වැහපු වැස්සට පොලව තෙමිල කකුල් දෙකම සිතල වෙලා ගියා. හිතාගත්ත හැකිනේ නුවර පැත්තේ උදේ පාන්දර ඔහොම සිද්දියක් උනොත් ඇඟට දැනෙන සනීපෙ? ඔන්න ඉතිං ඕනේ මඟුලක් කියල සෙරෙප්පු දෙකත් දාගෙන තේ එක බොන්න ගිහින් ආපහු ආව කියමුකෝ. ආපු ගමන් මොකෙක්දෝ එකෙක් නිකමට මතක් කලා අඩේ මාතරේ උඹල අද හිල්වුඩ් යනව නේද කියල. හප්පච්චියේ දැන්නේ මතක් උනේ. අද සයන්ස් ඩේ එක නේද. අපි ඉතිං පන්තියේ හොඳම ළමයි සෙට් එක හින්ද ටීචර් හිල්වුඩ් යන්න තෝරගෙන තිබ්බේ අපිව. මාත් එක්ක හිල්වුඩ් යන්න මගෙ වයසේ තව තෝරගෙන තිබ්බේ මාත් එක්ක හතරදෙනයි. ඉතිං දැන් ඒක හින්ද අද අපිට ඉස්කෝලේ නෑ. හැබැයි ඉතිං දන්නවනේ ගෑනු ඉස්කෝලෙකට යද්දී දැන් ඉන්නවට වැඩිය අපි පොඩ්ඩක් ලස්සන වෙනවනේ! ඒක කොහොම වෙනවද දන්නෑ හැබැයි කොහොම හරි ඒක වෙනව.

හරි හරි දැන් තමයි කතාවේ නියම කොටසට ආවේ. ඇඳගෙන යන ඇඳුම පොඩ්ඩක් පිළිවෙලට ඇඳන් යන්න ඕනේ හන්ද ඉතා කලාතුරකින් අයන් වෙන මගෙ ෂර්ට් එක කබඩ් එකෙන් එලියට ගත්ත. අරන් අයන් කරන්න හිතාගෙන අයන් එක ලඟට ගියා විතරයි හැමදාම තියෙන පෝලිම අද නෑ. මට මාර චූන්. ඇයි අද පෝලිමේ ඉන්න ඕනේ නෑනේ. අයන් කරන්න හිතාගෙන ෂර්ට් එක මේසේ උඩින් තිබ්බ විතරයි මොකෙක්ද උලමෙක් කෑගැහුව අනේ මෝඩයෝ අද අයන් එක කැඩිලා, අයන් කරන් නැතුව යමන්! ඊ...... මාව රත් උනා. ඇයි දෙයියනේ ෂර්ට් එකවත් අයන් කරන් නැතුව ගෑනු ඉස්කෝලෙකට යන්න පුලුවන්ද? මේවද ජිවිතේ වෙන්නේ කියල හිතාගෙන ඔන්න ඔහෙ ෂර්ට් එක කොට්ටයක් යටින් දාල තද කර කර අයන් පාර දාගත්ත. හ්ම්ම් දැන්නම් ටිකක් හිතට සුවයක් දැනෙනවා, එහෙම හිතාගෙන කබඩ් එක ලඟට ගියෙ සපත්තු දෙක දාගන්න. සපත්තු දෙක අතට ගත්ත විතරයි දෙලොව රත් උනා! හුටා සපත්තු දෙක ඊයේ වැස්ස හින්ද මඩ නෑවිලා තෙතම තෙතයි! දැන් ඒක දාගෙන යන්නේ කොහොමද? ඉක්මනට ළඟ පාත ඉන්න උන්ගේ සපත්තු දිහා මගෙ ඇස් කරකැවුන ඉබේටම. ඔන්න ඉන්නව පුස්කා. මම ඕක ගැන කලිනුත් ලියල තියනවා.

"පුස්කො පොඩ්ඩක් වරෙන්කො..."

"මොකද බං?"

"අද සයන්ස් එකනේ..."

"ඉතිං මට මොකෝ?"
"උඹලගේ කෙල්ලගේ ඉස්කෝලෙට යන්නේ"

"හිල්වුඩ්?"

"ඔව් ඔව්! මොනවහරි පණිවිඩයක් තියේද කියන්න?"

"අඩේ ඔව් බං! මට ලොකූ උදව්වක් කරන්න ඕනේ, කෙල්ලගෙන් අහපන් නම්බරේ මාරු කරාද කියල! ඒකි දැන් දවස් තුනක ඉඳං කෝල් එකක් ගත්තේ නෑ."

"අයියෝ සුළු දෙයක්නේ... මේ මටත් පොඩි උදව්වක් ඕනේ."

"කියපන් මචන් මොකක්ද?"

"මට අදට විතරක් සපත්තු දෙක දීපන්.... මගෙ දෙක තෙමිල." 

"අයියෝ... ඕක මොකක්ද. ආ... ගනින් ගනින්..."

කොහොම හරි ඕකව නමාගෙන සපත්තු දෙකත් ඉල්ලගත්ත. දැන් තියෙන්නේ පාසැල බලා පියනැගීම. ඔන්න ඉතිං ඕකටත් ගියා ඊට පස්සේ ලැබ් එක ගාවට යන කට්ටිය සෙට් උනා. අපේ යන්නේ හතරදෙනයි කියල මම ඉස්සෙලම කිව්වනේ... හැබැයි ඉතිං ඒ අපේ පන්තිවලින්. දහතුනේ අයියල තුන්දෙනෙකුයි එකොළහේ මල්ලි කෙනෙකුයි ගමනට සෙට් වෙනව කියල දැනගත්තේ ලැබ් එක ලඟදි. ඔන්න එතකොටම කවදාවත් දැකල නැති, කෙට්ටු, කොන්ඩේ සුලිසුලඟකට අහුවෙලාද කොහෙද උඩට ඉස්සුණු අයියෙක් කතා කරන්න පටන් ගත්ත.

"උඹල දන්නවද මම කව්ද කියල?"

අපි ඔක්කොම මුණට මුණ බලාගත්ත. එතකොට උට තවත් මල පැන්න.

"උඹල සයන්ස් කරල වැඩක නෑ මාව දන්නේ නැත්තං! යකෝ මම තමා සයන්ස් ක්ලබ් එකේ සභාපති!!!"

ඉතිං අපිට මොකෝ? මම අපේ එකෙක් දිහා හැරිල හිමීට කිව්ව.

"ඒවයින් වැඩක් නෑ. මම මේ කියන්න යන්නේ එතනට ගිහින් හැසිරෙන්න ඕනේ හැටි. පළවෙනියටම මේක මතක තියාගනින් එතනට ගිහින් කෙල්ලෝ එක්ක වැඩිය කතාවට යන්නේ නෑ හරි? ගැට්ට තියාගෙන ඉන්න ඕනේ! ආයේ... කෑම දෙද්දී උඹල සත්තු වගේ හැසිරෙන්නේ එහෙම නෑ. එහෙම මොනවහරි උනොත් උඹලව එතනම එලියට ඇදල කන රත්වෙන්න එකක් දෙනව. හරි?"

යකෝ අපිට ගැට්ට තියාගෙන ඉන්න කියන්නේ හරියට අපි නිකං කෙල්ලෝ වගේනේ. එහාපැත්තෙ හිටපු එකා හිමීට කෙඳිරුව.

"ආ... තව එකක් දැන් ඔතෙන්ට ගියාම කෙල්ලෝ එක එක විදිහේ ටොපි සෙට් කරනව අපිව පිච්චන් කරන්න. සමහර වෙලාවට හැම ඉස්කොලෙන්කින්ම දෙන්නෙක්ට හරි තුන්දෙනෙක්ට හරි එන්න කියනව ස්ටේජ් එකට නැගල සින්දුවක් කියන්න හරි නටන්න හරි. ඒ වෙලාවට උඹල ඒවා කරන්න ඕනේ. ඉස්කෝලේ නම තියාගන්න. ඒ වෙලාවට බෑ අයියා, නෑ අයියා කිය කියා ඉන්නේ නෑ හරි? කෙලින්ම ස්ටේජ් එකට නගින්න ඕනේ!!! තේරුනාද? ඉස්සර හිටපු අයියලත් ඔය වගේ තමා. අපි තමයි ඔක්කොම කලේ... අපි ඒ වෙලාවට නෑ බෑ කිය කිය හිටියේ නෑ. හරි එහෙනං එච්චරයි"

කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට උනාට පස්සේ මමයි අපේ අනිත් තුන්දෙනයි අර එකොළහේ පොඩි එකාව ලඟට ගෙන්නගත්ත.

"ඇහුනනේ අර අයිය කියපුව? දැන් අපි කියන ඒවා අහගනින්! උඹ ගෑනු එක්ක ඕනේ මගුලක් කරගනින්, අපිට අවුලක් නෑ. හැබැයි මේක මතක තියාගනින් අපිට මොනවහරි ඔය නටන්න හරි සින්දු කියන්න හරි සෙට් උනොත් උඹ ඒවා කැමැත්තෙන් කරන්න ඉදිපත් වෙන්න ඕනේ. හතරදෙනාටම හරියන්න උඹ සින්දු කියන්න ඕනේ..."

අනේ පව් පොඩි එකාගේ මුණ මැලවිලා ගියා. ඉතිං අපි මොනවා කරන්නද? එහෙම නැතිඋනොත් අපිනේ නටන්න ඕනේ!

ඔන්න ඉතිං ඕක කියල ඉවරවෙනවත් එක්කම ටීචර් දුවගෙන ආපි.

"අනේ ළමයිනේ ඉස්කෝලෙන් බස් එක දෙන්න බෑ කිව්වනේ"

මල කෙලියයි දැන් ඇදපන්කෝ පයින්!

ඉතිං ඊට පස්සේ අපි ඉස්කෝලෙන් එලියට බැස්ස. ඔන්න අපි වැව රවුම වටේ යනව හිල්වුඩ් එක බලා. පොඩිම එකා යන්නේ ඉස්සරහින්, අපි ඊට පිටිපස්සෙන්, අයියලයි ටිචරුයි අපිට පිටිපස්සෙන්.

ඔන්න ඉතිං අපි හිල්වුඩ් එකටත් ආව. උන්ගේ ප්‍රධාන ශාලාව තිබ්බේ ඉස්කෝලෙට ඇතුල් වෙච්ච ගමන්මයි. ඉතිං අපි ශාලාවට ගියා විතරයි අපේ නම් ගත්තේ නැතැයි. කට්ටිය පෝලිමේ නම් දීගෙන යනව. එන පිළිවෙලට එක එක පාට වලින් කොළ කෑල්ලකුත් දෙනව. පොඩ්ඩක් වෙලා ගියාමයි තේරුනේ මුන් අපිව එක එක කණ්ඩායම් වලට බෙදනව කියල. කොල කෑල්ලේ පාට තමයි කණ්ඩායමේ පාට. ඉතිං අපි එක එකාට වෙන වෙන කණ්ඩායම් (පාට) හම්බවෙලා තිබ්බේ. අපි හතරදෙනාගෙන් (පොඩි එකාවයි ලොකූ උන්වයි අපි ගණන් ගත්තෙ නෑ) දෙන්නෙක් එක කණ්ඩායමක මායි තව එකෙකුයි වෙනම. ඉතිං මේක හරියන්නෑ කියල මම ආපහු අර අනිත් කණ්ඩායමට වැටිච්ච එකාව අරගෙන ගියා කොල බෙදන තැනට. එතන ඉන්නේ හිල්වුඩ් එකේ අක්කල. මේසේ උඩ ඔය පාට පාට කොල ඕනෙතරං තියෙනව. ඉතිං මම හිටපු අක්ක කෙනෙක්ට කිව්ව. අක්කේ මගෙ කණ්ඩායමේ මම අදුනන කව්රුත් නෑ මාව වෙන එකකට දාන්න කියල.

"අන්න ඒක තමා මල්ලි අපිටත් වෙන්න ඕනේ. මෙහෙම කණ්ඩායම් වලට බෙදන්නේ දන්නේ නැති අය අදුනගන්න." අක්ක කියාපි

මම පොඩ්ඩක් වෙලා ඉඳල බැරිම තැන අනිත් එකාගේ කොලෙයි මගෙ කොලෙයි මේසේ උඩින් තියල අර එකම කණ්ඩායමට වැටුන අපේ දෙන්නගෙ පාට වලින් කොල දෙකක් ගත්ත මුකුත් නොකියම. අක්කට කරගන්න දෙයක් නෑ. කොල දෙක මගෙ අතින් උදුරලා ගන්නයැ?

ඔන්න ඉතිං මමයි අනිත් එකයි ගිහින් අපේ අනිත් දෙන්න හිටිය කණ්ඩායමට වැදුන. කණ්ඩායමේ හිටියේ අපි හතරදෙනා ඇරුනම තව කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෝ දෙන්නෙකුයි විතරයි. උනුත් වෙන වෙන ඉස්කෝලවලින්. ටික වෙලාවක් ඔහොම ආතල් එකේ කතා කර කර ඉන්න ඇති. පොඩි එකා ඇවිල්ල කිව්වනේ අන්න අර අයියල අපිට කතා කරනව කියල!! ඉතිං අපිත් කරබාගෙන උන් හිටිය තැනට ගියා. උන්ගෙන් දෙන්නෙක් එක කණ්ඩායමට වැටිල අනිත් එකා ඒ කිව්වේ සභාපති කාරය වැටිලා තියෙන්නේ වෙනම එකකට. උන් ඇවිත් තිබ්බේ අපෙන් අපේ කොල ටික ඉල්ලගෙන. ඉතිං මොනව කරන්නද අපි අපේ කොල ටික ගෙඩි පිටින් උන්ට පිදුව. අපේ උන්ට මාර මල. මම කරපු වැඩේ අපිට හම්බුන කොල ටිකත් අරන් ගියා අර කොල බෙදන මේසේ ලඟට. අර අක්ක එහෙම්ම ඉන්නව. කතා කරන්න ගියොත් වැඩේ කෙල වෙන බව දාන්න නිසා මම කොල ටික හෙමිහිට මේසේ උඩින් තියල එක පාටකින් කොල හතරක් අරන් ආව. අක්ක කට ඇරගෙන බලන් ඉන්නව.

අපි වැටුනේ කාත් කව්රුත් නැති හිස් කණ්ඩායමකට. කව්රුත් ඒ කණ්ඩායමට තේරිලා තිබුනේ නෑ. ඔහොම ටිකක් ඉන්නකොට කෙල්ලෝ දෙන්නෙක් ආව අපේ කණ්ඩායමට. උන් දෙන්නත් කරුමෙටද අපේ කරුමෙටද දන්නෑ උනුත් වැටිලා තිබ්බේ අපේ ගොඩට.

ඉතිං ඩේ එක පටන් ගත්ත. අපි හිටියේ පිටිපස්සටම වෙන්න. පළමුවෙන්ම පොල් තෙල් පහන පත්තු කලාට පස්සේ තිබ්බේ ආරාධිත දේශනය. කියන එකා කොහොම කිව්වත් මොකක් හරි කියන්න බලන් ඉන්න අපේ උන්ගේ කටවල් වලට නිවනක් තිබ්බේ නෑ. අරූ මැරීගෙන කියන ඒවාට කියන්න ඕනේ තරං ඇම්බැට්ට කතා අපේ උන් ගාව තිබ්බ. කොහොම හරි ඕකට පස්සේ තිබ්බේ විභාගයක්!!! හෑ? මොකක්ද මේ? ඒ කිව්වේ හැම කණ්ඩායමකටම ප්‍රශ්න පත්තරේ බැගින් ලැබෙනවා. ඕකෙන් වැඩියෙන්ම ලකුණු ගන්න කණ්ඩායමට වටිනා... සහතික පත්‍රයක් ලැබෙනව. ඔන්න ඉතිං පොතේ හැටියට අපිටත් ප්‍රශ්න පත්‍රයක් ලැබුන. අපි ඕකට තනියම වගකියන්නයැ? හෙමීට කෙල්ලෝ දෙන්නට ප්‍රශ්න පත්තරේම පවරල අයෙත් කදේට වැටුනේ මොනවහරි හිර උනොත් අපිට කියන්න කියල. අපිට ඕක තනියම කරන්න වැටුනොත් එහෙම වෙන්නේ හිස් පත්තරේ ආපහු දෙන්න... :පී

වැඩේ හොඳට කෙරීගෙන යනව. කෙල්ලෝ හිටු කියල අරකට උත්තර බෙදනව, අපි කයිය ගහන් ඉන්නව. ඔන්න කෙල්ලන්ටත් හිරවෙන වෙලාව ආව. අනේ මේ... මේ ඔක්කොටම උත්තර ලිව්ව තුන්වෙනි එකටයි පහළොස්වෙනි එකටයි දන්නේ නෑ. හෑ? ප්‍රශ්න දෙකකටයි උත්තර දන්නේ නැත්තේ. ඒ කියන්නේ අනිත් ඔක්කොටම උත්තර දන්නව. ඒ කියන්නේ සහතිකේ අපේ අතේ! හුරේ... අර ප්‍රශ්න දෙකටත් දැන් උත්තර දෙන්න එපෑ. පොරොන්දු උනානේ! හිමින් සීරුවේ එහා පැත්තේ කණ්ඩායමේ එකෙක්ට ඇඟිල්ලෙන් ඇන්න. අරූ ගැස්සිලා උඩ ගිහින් මගෙ දිහාට හැරුන. "මේ මචං තුන්වෙනි එකටයි, පහලොවටයි උත්තරේ කියපන්කො!" ඒකා "බෑ....." කිව්වේ හරියට උගෙන් රුපියල් පහළොස්දාහක් ඉල්ලුව වගේ. ඒකාට එහා පැත්තේ හිටියේ පොඩ්ඩක් බොක්කක් තියෙන ආතල් පොරක්. ඌ මෙහෙම කියනව, "උඹල මේ මඟුලක් කතා කරනව, යකෝ අපේ අතට ප්‍රශ්න පත්තරේවත් හම්බුනේ නෑ. ඕක මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳල මේ වෙනකන් කෙල්ලෝ අතේ." ඒ කතාවත් එක්ක ප්‍රශ්න වලට උත්තර බැඳීම අහවර උනා. "ඔන්න ඔහෙ ප්‍රශ්න දෙකයිනේ. ඔය දෙක අල්ලල දාමු...", "පිස්සුද? එහෙම කියල කොහොමද? මොනව හරි උත්තරයක්‌ ලියන්න ඕනේ" ඒ කෙල්ලෝ.

ප්‍රශ්න වලට උත්තර දීමේ කාලය අවසන් උනා. කෙල්ලෝ දෙන්න මොනවාද මන්ද උත්තර දෙකකට ඉරි ගහල තිබ්බ. පත්තර එකතු කිරීමෙන් පස්සේ තවත් කතාවක්. ඊට පස්සේ තව එකක්. ඔය විදිහට කතා තුන හතරක් යද්දී ඔන්න අපි ඔක්කොම පුන පුනා, කෙල හල හලා සිටි අවස්ථාව එළඹුනා. කට්ලට් එකයි, මාළු පාන් එකයි, කේක් කෑල්ලයි, කිරි පැකට් එකයි. පොඩි බඩගින්නකට හොඳටම ඇති! අපි ඉතිං කියා දුන්න විදිහට අපේ හැදිච්ච කම් පෙන්නන්න යන්නේ නැතුව හිමින් හිමින් ගිල්ල.
 
ඕන්න ආපි විනෝද වටය. කට්ටියට ඒක විනෝද උනාට අපිනම් හිටියෙ පුදුම බයෙන්. මොකද අයියල ටික අපිට මොනවා හරි සෙට් කරයි කියල. විනෝද වටයේ පළමු අංගය, වටේට රවුමක් සේ ඉඳගෙන සංගීතයට ටෙඩි බෙයාර්ව පාස් කිරීම. කිව්වමනං හරි ලේසියි නේ? වැඩේ කියන්නේ සින්දුව නැවතෙද්දී ටෙඩි බෙයාර්ව අතේ තියෙන එකාට සින්දුවක් හරි, නැටුමක් හරි, මොකක්හරි ගිනි ගෙඩියක් සෙට් වෙනව. ඒක හින්ද ටෙඩිය ලඟට එද්දී කොල්ලො කෙල්ලෝ ඌව වීසි කරනව... කොහොමින් කොහොම හරි අසරණයෝ කීප දෙනෙක්ට සින්දු කියන්නයි නටන්නයි සෙට් උනා. අපිට මුකුත් කරදරයක් නෑ! ඊළඟ වටය පත්තර ඩාන්ස් එක. ඒ කිව්වේ පත්තරයක් උඩ දෙදෙනෙකු සංගීතයට නැටීම. සංගීතය ඉවර උනාම දෙන්නගෙම කකුල් පත්තරේ උඩ තියෙන්න ඕනේ. නැත්තං එළියේ. ඊළඟ සින්දුව යද්දී කොලේ දෙකට නමනවා. එහෙම කොලේ පුංචිම පුංචි වෙන්න නමල අන්තිමට ඉතුරු වෙන දෙන්න දිනුම්! ඕන්න ඕකට එක ඉස්කෝලෙකින් දෙකා බැගින් සහභාගිවීම අත්‍යවශ්‍යයි. අපේ පොඩිම එකා සහ තවත් එක් අවාසනාවන්තයකු අයියන් විසින් තෙරුව. උන් දෙන්න දැන් හිටගෙන නටනව පත්තරේ උඩ. ඔහොම ගිහින් සංගීතේ ඉවර උනා. අපේ එකා හිතලම තිබ්බ කකුල පත්තරෙන් එළියේ. අභිමානවත් ලෙස අපි පළමු වටයෙන්ම අවුට්!

දැන් උත්සවේ ඉවරයි. තියෙන්නේ තෑගි බෙදන අවස්ථාව. අපේ කණ්ඩායමේ නම කියවෙනකන් අපි කට ඇරගෙන බලන් හිටිය. මොකද වැරදුනොත් වැරදුනේ දෙකයි කියල ෂුවර්නේ.... තුන් වන ස්ථානය කියෙව්වා. නෑ අපි නෙමේ. එහෙනං එක හරි දෙක හරි. දෙක කියෙව්ව, අපි නෙමේ. දැන්නං නිකං පිස්සු වගේ අපි එක! ඕන්න පළමුවෙනි ස්ථානය.... වෙන මඟුලක්. ෂික්. අපි නෙමේලු!!! කෙල්ලෝ දෙන්න ගහල තියෙන්නේ බුලනේ! උන්ට දෙකයි මිස් උනේ කිව්වේ! කමක් නෑ කෙල්ලොන්ගේ හැටි ඔහොමමනේ... දැන් ඕන්න ඔක්කොම ඉවර වෙලා ස්තුති කතාව කියන්න හිල්වුඩ් එකේ සර් කෙනෙක් ස්ටේජ් එකට නැග්ග. අපේ ටීචර් අපි ලඟට ඇවිල්ල අහනව. "මේ මට ඉක්මනට ගෙදර යන්න ඕනේ අද, අපි යමු නේද?" කියල. ඉතිං බෑ කියල බෑනේ. ස්තුති කතාවට බම්බු ගහගන්න කියල අපි එන්න හැරුන. එතකොටයි මතක් උනේ පුස්කගේ කෙල්ලගෙන් මොකක්දෝ අහන්න තියෙනව කියල! දැන් ඒකිව හොයපන්කෝ! කෝ.... මේකි කොහෙවත් නෑනේ! බැලුව බැලුව කොහෙවත් නෑ.... ඕන්න ඔහෙ ඒකටත් පචයක් කියල දානවා කියල හිතාගෙන එලියට බැස්ස.

ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවට පස්සේ අයියලාගේ බාරයේ අපිව තියල ටීචර් ගෙදර ගියා. ඕන්න අපි නුවර වැව වටේ ආපහු ඉස්කෝලය බලා යනව.... ඔන්න දළදා මාලිගාව ලඟින් යනවා... ඔන්න කාක් බෙටි වලින් සුදු පාට වෙච්චි පාර දිගේ යනව... චිරිස්!!! අලි පත කාක් බෙට්ටක් වැටුන සභාපතියගේ ෂර්ට් එකට. අපිට මාර චූන්! බොහොම අමාරුවෙන් හිනාව තද කරගත්ත. අන්තිමේදී දුෂ්ටයාට නියම දඬුවම හම්බවෙලා... හැබැයි,

"අඩෝ මල්ලි ඉක්මනට උඹේ ෂර්ට් එක ගලෝල දීපන්! මේක ඇඳන් ඉස්කෝලේ පල. මම එතෙන්ට ගිහින් දෙන්නන්!" එකොළහේ එකාට වහ බොන්න හිතෙන්න ඇති!!!           

ප.ලි: අනේ මේ සිද්දියට සම්බන්ධ කෙනෙක් මේක දැක්කොත් මට මුකුත් කරන්න නම් එපා.... මෙන්න වැන්දා....

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...