Oct 11, 2011

ලැජ්ජාව




අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරෙනි.
---------------------------------------

"ඔයා කොහෙද ඉන්නේ?"

චතුර යනකන් හිටි මම සඳුනි ගෙන් ඇසුවෙමි.

"කටුගස්තොට"

ඉතා සිනිදු ස්වරයෙන් සඳුනි පිළිතුරු දුන්නාය.

ඉන්පසු අප අතර විනාඩියක පමණ නිශ්ශබ්දතවයකි.

"අද කියල දුන්න ත්‍රිකෝණමිතිය නං ටිකක් අමාරුයි නේ?"

නිහඬ බව බිඳිමින් ඉතා අමාරුවෙන් මම ඇසුවෙමි.

"හ්ම්... චුට්ටක්"

ඔව් ඉතින් ඕකට ඔව් හරි නෑ හරි කියන්නනේ තියෙන්නේ? එය මගේ හිත කිව් එකක් මිස කටින් පිටවූ දෙයක් නොවේ. කතා කරන්න කිසි දෙයක් තිබුනේ නැතත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මට ඕනෑය. බස් හෝල්ට් එකට තව ටිකක් දුර බැවින් මොකක් හෝ මාතෘකාවක් පටන් ගැනීමට හොඳම අවස්ථාවය.

"ඕ ලෙවෙල් වලින් පස්සේ ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ?"

මම මහා මෝඩ ප්‍රශ්නයක් ඇසුවෙමි. එහෙත් ඔව් නෑ ප්‍රශ්න වලට වඩා එය ටිකක් හරි හොඳය.

"මැත්ස් තමයි හිතන් ඉන්නේ හැබැයි ඉතින් ඕ ලෙවෙල් රිසල්ට් එක අනුව තමා"

පළමු වරට දීර්ඝ පිළිතුරක් ලැබීමෙන් මම සතුටට පත් වුනෙමි. සඳුනි ගේ කටහඬ සංසන්දනය කිරීමට අන් කිසිම ආදේශකයක් නැත. එය ඇයටම අවේනික  කටහඬකි. කොවුලෙකුගේ හඬටවත්, සුළඟේ නදටත් එය සමාන කල නොහැකිය. එය ඉතාම මිහිරිය; සිනිදුය.

"හා ඒක හොඳයි!"

මටම නොදැනීම මගේ කටින් පිටවුණි.

"මොකක්ද ඒකෙ තියෙන හොඳේ?"

දඟකාර හිනාවක් මුවඟට නගාගනිමින් ඇය ඇසුවාය. මෙය මට තරමක් නොපුරුදු දෙයකි. ඕනෑ තරම් කෙල්ලන් හා කතාකොට තිබුනද සඳුනි හා තනිවම මෙසේ කතා කරන්නේ පළමු වතාවටය.. මෙය ඉතාම තීරණාත්මක ප්‍රශ්නයකි. ඇත්තම කිව්වොත් දෙපැත්ත කැපෙන ප්‍රශ්නයකි. මෙයට මම දෙන උත්තරය අනුව සඳුනිගේ හිතේ මම ගැන තියෙන ආකල්පය කුමක් වුවත් එය වෙනස් වීමට ඉඩ තිබේ.

"නෑ... මමත් ලබන අවුරුද්දේ මැත්ස් කරන්න හිතන් ඉන්නේ. ඔක්කොටම ඉස්සෙල්ල මේක පාස් වෙලා ඉන්න එපෑ"

කෙටි නිශ්ශබ්දතාවයකින් පසුව මම හිතා බලා උත්තර දුනිමි. එය හොඳ අවස්ථානුකුල පිළිතුරකැයි මම සිතමි. පෙරදී ඇය මට දුන් ප්‍රශ්නයද මම හෙමින් සීරුවේ කපා දමා ඇත. තව අසන්නට තරම් ප්‍රශ්නයක් මගේ සිතට එන්නේ නැත. එහෙත් නිහඬබව කෙලවර කරමින් යලිත් සිනිදු කටහඬ ඇසිනි.

"ඔයා බෝඩිමේ නේද ඉන්නේ?"

"ඔව්. කව්ද ඔයාට කිව්වේ?"

"චතුර මට කියල තියෙනව ඔයා ගැන"

"වෙන මොනවද චතුර මං ගැන කියල තියෙන්නේ?"

"ම්ම්ම්ම්... හැමදාම පන්තියේ පලවෙනි පහ ඇතුලේ ඉන්නවලු. එතකොට බාස්කට් බෝල් ගහනවලු"

චතුරයටනම් මල් තියා වැඳිය යුතුය. ඔහුට දුන් රාජකාරිය ඔහු හරියටම නිම කොට ඇත. ඇත්තටම සඳුනි ගැන මගේ සිතට අදහසක් ආවේ අද ඊයේ නොවේ. ඇයව පළමු වරට පන්තියේ දුටු දිනයේම මගේ හදවත හිරිවැටී ගියේය. මේ මම වෙනුවෙන්ම ඉපදුන එක්කෙනා යැයි සිතුනි. පෙර දිනක අප කොහේහෝ හමුවී ඇතැයි දැනුනි. සඳුනිට මම රහ වැටුන බව දැනගත් එකම එකා චතුර විය. චතුරගේ පෙම්වතිය වූ ඉමාෂා ගිය පාසලටම සඳුනි ගිය හෙයින්, ඉමාෂා ලවා සඳුනි ගැන මට විස්තර ගෙන දීමට චතුර යුහුසුළු විය. ඉන්නේ කටුගස්තොට යැයි සඳුනි ගේ කටින් ඇසීමට පෙර මම ඒ බව දැන සිටියෙමි. මම ඇය ගැන ඔත්තු බලනවා යැයි ඇයට අසන්නට ලැබුනෙම්නම් ඇය මේ විදියට මා සමග කතා නොකරනු ඇත. ඇත්තටම චතුර ඔත්තු බැලීමට උපන් හපනෙකු විය.

"අප්පේ... චතුරය මගේ කාඩ් කාල වගේ"

ප්‍රශංසාව නොරුස්සන මෙන් මම රඟපෑවෙමි.

"මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? හොඳයිනේ!"

මගේ ප්‍රතිචාරය ඕනෑවට වැඩි යැයි සිතිනි.

"ඒකත් ඇත්ත"

වෙන දෙන්නට උත්තරයක්‌ නොතිබූ හෙයින් එසේ කීවෙමි.


කාලය සෙමින් ගලාගෙන යයි. අප දෙදෙනා අතර කිසිඳු කතාවක් නැත. මම ප්‍රශ්නයක් ඇසුවොත් ඇය ඊට නිසැකවම උත්තරයක්‌ දෙන බව මම දනිමි. එහෙත් අසන්නට ප්‍රශ්න නැත. අනෙක් වෙලාවට ඔහේ කියවගෙන කියවගෙන යන්නට හැකියාව තිබුනද දැන් මා ගොළු වී ඇත. මේ වෙනස කුමක්ද? මගේ කටට සීල් තියන්නට තරම් දක්ෂ වූ මේ හැඟීම කුමක්ද? ඒ බයද? නැත්තම් වෙන මොකක් හරි එකක්ද? නැත එය නිසැකවම බය විය යුතුය.
-------------------------------------------------------------------------------------------------------
කාලය ඉගිලී ගියේය. බස් නැවතුමට එනතුරු කිසිඳු කතාබහක් අප අතර නොවිය. ඔව් පටන් ගත්තු වෙලේ සිට අප අතර කතාබහක් නොතිබුණි. මේ සියල්ල හිතෙන් මවාගත් දේවල්ය! මනස්ගාතය. අනේ එහෙම උනානම් කියා මට සිතුන දේවල්ය. ඇත්තටම මේ කතාව මුල සිටම අප කිසිම දෙයක් කතා නොකළෙමු. අප කතා කලානම් මෙහෙම දෙබසක් ඇතිවන්නට ඉඩ තිබුණි. එසේනම් අද තත්වය මීට වඩා වෙනස් වනු ඇත. පළමු වරට අප තනිව ඇවිද ගියද කිසි දෙයක් කතා කිරීමට සිත ඉඩ දුන්නේ නැත. ඒ මගේ සිතේ උපන්දා සිට අරක්ගෙන ඇති ලැජ්ජාව නිසා බව නොපැකිලිව කියමි. බස් නැවතුමට එනතෙක්‌ නිහඬව පැමිණි මම නුවර බසයක එල්ලී බෝඩිමට ගියෙමි ඇයද එසේ කටුගස්තොට පැත්තට යන බසයක යන්නට ඇත. සිදු වුනේ කුමක්දැයි චතුර බෝඩිමට ගොස් අසන විටදී මම ප්‍රශ්නය මග හරිමින් වෙනත් මාතෘකාවකට පිවිසුනෙමි.


 ඉන් පසුවද මගේ සිත තදින් ඇයට ඇලී තිබුනද කිසි කලක එය එලියට දැමීමට මට නොහැකි විය. කල හැකිව තිබුනේ බුද්ධිමතුන් බිහිවන අවසන් පේලියේ සිට ඇය දෙස බලමින් සුසුම් හෙලීම පමණි. ටික කලකින් මම ඒ පන්තියට යෑම නැවත්තුවෙමි. ඒ සඳුනි නිසානම් නොවේ. කෙල්ලෙකු නිසා යන පන්තිය නැවත්වීමට තරම් මම බොළඳ නැත. මම ඊට වඩා හොඳ පන්තියක් හොයාගත්තෙමි.

චතුර හා ඉමාෂා තවමත් ආදරයෙන් වෙලී සිටී. සඳුනි දැන් කරන්නේ කොමර්ස් යැයි චතුර ලඟදි දවසක චතුර කිවුවා මට මතකය.

මගේ සිත මොහොතකට හෝ හොරාගැනීමට සමත් වූ ඇයව කෙසේ අමතක කරන්නද? ඉන්න තැනක සැපෙන් සිට සෑම දෙයින්ම ජයගැනීමට ඇයට වාසනාව ලැබේවා!
 

--------------------------------------------------------------------------------------------------------------

පලි: මේ අවස්ථාව මා සමග අත්වැල් බැඳගත් සොහොයුරාට සහ සොහොයුරියට (සබිත්, නදී) ස්තුති කිරීමට යොදාගන්නවා. ඔයගොල්ලෝ මාත් එක්ක සිටීම ඇත්තටම මට හයියක්. තවත් බොහෝ දෙනා මාත් එක්ක එකතු වෙයි කියලත් බලාපොරොත්තු වෙනව. මම මේ බ්ලොග් එකා ලියන්න පටන් ගත්තේ ලඟදි. ඉතින් ඔයගොල්ලන්ට මේක ගැන හිතෙන එව්වා කොමෙන්ට් එකකින් දාල යන්න කියල මම ආරාධනා කරනවා. ඒ යෝජනා චෝදනා අදහස් උදහස් හැම එකක්ම මම සතුටු සිතින් භාරගන්නවා. ඔයාලට ඕනෙනම් ඇනෝනිමස් විදිහටද කොමෙන්ට් කරන්න පුළුවන්.  

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...